Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2024 05:38:09 Hours

මාලි රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ආරක්‍ෂක භටපිරිස් වෙත පදක්කම් පිරිනමයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය (MINUSMA) යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ආරක්‍ෂක භටපිරිස් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයක් 2024 ජූලි මස 19 දින ගාඕ සුපර් (Gao Super) කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) මෙහෙයුම් අවසන් කිරීම් භාර නිලධාරි ඇන්ටන් ඇන්ට්චෙව් (Anton Antchev) මහතා මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම උත්සවයේදී, ශ්‍රී ලංකා සාමසාධක භටයින් 207 දෙනෙකු වෙත මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ පදක්කම් පිරිනැමීය. එහිදී, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් භටපිරිස් අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ ධෛර්ය සම්පන්නව, සැලකිලිමත්භාවයෙන් යුතුව වෘත්තීමයභාවය සහ කැපවීම පෙන්නුම් කරමින් කරනු ලබන සේවය ඇගයීමට ලක්කළේය.

පදක්කම් පිරිනැමී‍මේ පෙළපාලියේ පෙළපාලි අණදෙන්නා වශයෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ටී.එම්.ටී. ද සිල්වා යූඑස්පී පීඑස්සී කටයුතු කරනු ලැබීය. එසේම මෙම භට පිරිස මාලි රාජ්‍යයේ ඔවුන්ගේ රාජකාරීන් නිමකර නුදුරේදී මව්බිමට පැමිණිමට නියමිතව සිටියි.