Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2024 14:38:44 Hours

විශ්‍රාම දිවියට පා තැබූ මේජර් ජෙනරල් පී.සී.එල් ගුණවර්ධන (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 33 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ මේජර් ජෙනරල් පී.සී.එල් ගුණවර්ධන (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයින් සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 2024 ජූලි මස 18 දින හමුවූයේය.

යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවමින් සිදුකළ අනුපමේය සේවය සහ මානූෂීය මෙහෙයුම් කාලවකවානුව තුළ ගැමුණු හේවා බලකායේ නිලධාරියෙකු ලෙස දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා ලබාදුන් දායකත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී සිහිපත් කරනු ලැබීය. එතුමන් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී මෙන්ම පශ්චාත් යුධ සමය තුළද තම සේවා කාලය පුරාවට විවිධ අභියෝගාත්මක භූමිකාවන්හි කැපවීමෙන් සහ ආදර්ශමත්ව රාජකාරීන් ඉටු කිරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය. එහිදී, ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය භර්යාවගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් පී.සී.එල් ගුණවර්ධන (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සිය රාජකාරි කාලසීමාවේදී ලබාදුන් මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මේජර් ජෙනරල් පී.සී.එල් ගුණවර්ධන (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ භර්යාව වෙත ත්‍යාගයක් ප්‍රදානය කරන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

මේජර් ජෙනරල් පී.සී.එල් ගුණවර්ධන (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 1991 ජනවාරි මස 02 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 35 යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය බලකායට බඳවා ගන්නා ලදී. දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ යුද පුහුණුව සාර්ථකව අවසන් කිරිමෙන් අනතුරුව, දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත්වීම් ලබා 1992 අගෝස්තු 29 දින ගැමුණු හේවා බළකායට අනුයුක්ත කරන ලදී. එතුමන්, යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2024 මැයි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 මැයි මස 28 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගත්තේය. විශ්‍රාම ලබන විට එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ තනතුර දැරීය.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ ඛණ්ඩභාර නිලධාරී, 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරී අනදෙන, 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ මෙහෙයුම් සහ පුහුණු නිලධාරි, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ නිලධාරි කැඩෙට් අංශයේ නිලධාරි උපදේශක, 52 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියාන්විත), යුධ සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි II (අතිරේක) වෘත්තීය ප්‍රගමන, හයිටි එක්සත් ජාතීන්ගේ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරි, 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ - නැගෙනහිර කාර්ය නියුක්ත ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක,හයිටි හි එක්සත් ජාතීන්ගේ ස්ථායිකරණ මෙහෙයුම් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි, යුධ සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි (දුක්ගැනවිලි හැසිරවීම),නිව් යෝක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ යුද සැලසුම් නිලධාරි,68 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 622 පාබල බලසේනාවේ බලසේනාධිපති,ආරක්‍ෂ සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක 1 බලකායේ බ්‍රිගේඩියර් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ යන තනතුරු හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කළ කාලය තුළ කළ කැපවීම අගයමින් “රණ වික්‍රම පදක්කම සහ රණ සූර පදක්කමෙන්” පිදුම් ලබා ඇත. එතුමන් සිය හමුදා ජීවිතය තුළ ඛණ්ඩ නිලධාරි උපක්‍රම පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, ප්‍රගුණ වෙඩික්කරු මූලික පුහුණු පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව, තරුණ නිලධාරි උපක්‍රම පාඨමාලාව පකිස්ථානය, බංග්ලාදේශයේ කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාව, ඉන්දියාවේ බලඇණි ආධාරක අවි නිලධාරීන්ගේ පාඨමාලාව (මෝටාර් අධියර), සහ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව - ඉන්දියාව ආදී දේශීය හා විදේශීය පාඨමාලා රාශියක් හදාරා ඇත. .

එතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරිය කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යාපනික සහ හමුදා නොවන පාඨමාලා කිහිපයක් ද හදාරා ඇත.