Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2024 06:14:08 Hours

විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් 2024 ජූලි මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කැපවූ සේවය ඇගයීමට ලක්කළ අතර, ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම වෙනුවෙන් දැක්වූ දායකත්වය පිළිබඳවද සිය කෘතඥතාවය පුදකරමින් වෘත්තීය දිවිය තුළ මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකළේය.

සුහඳ හමුව සමාප්තියේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් පී.පී.ඒ. පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී සිය රාජකාරි කාලසීමාවේදී ලබාදුන් මඟපෙන්වීම් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයන් ප්‍රදානය කරනු ලැබීය.

එතුමන් පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

මේජර් ජෙනරල් පී.පී.ඒ. පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී වර්ෂ 1989 නොවැම්බර් මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 07 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණි. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත් එතුමන් වර්ෂ 1991 නොවැම්බර් මස 14 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2023 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුව එතුමන් 2024 ජූලි මස 16 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත. විශ්‍රාම ලබන විට එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ධූරය හොබවයි.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් 1 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඛණ්ඩභාර නිලධාරී, යාපනය ක්‍ෂණික ප්‍රතිචාර බලඝණයේ නිලධාරී අණදෙන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ඛණ්ඩභාර නිලධාරී, 6 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඛණ්ඩභාර නිලධාරී සහ විධායක අධිකාරී, 6 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරී අණදෙන, යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මාණ්ඩලික නිලධාරී II (හමුදා පුහුණු), 10 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරී, 21 පාබල සේනාංකයේ කාර්යයේ නියුක්ත ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත), 5 කාර්ය සේනාංකයේ කාර්යයේ නියුක්ත ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත), 4 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී, 8 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී, ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරී අධ්‍යයන මධ්‍යස්ථානයේ පුහුණු අංශ ප්‍රධානි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ හමුදා මාණ්ඩලික නිලධාරී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි, හමුදාධිපති ලේකම් කාර්යාලයේ කර්නල් (හමුදාධිපති ලේකම්), යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, 551 පාබල බලසේනාවේ බලසේනාධිපති, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ලේකම්, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදේශ මෙහෙයුම්, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

එතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුළදී කණ්ඩභාර නිලධාරි පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, සංග්‍රාමික යතුරුපැදි පාඨමාලාව (ක්‍ෂණික ප්‍රතිචාර බලඝණය), ඒකක පරිපාලන පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරීන්ගේ පාඨමාලාව, වැඩිදියුණු කළ කෘත්‍රීම බෝම්බ බැහැර කිරීමේ රොබෝ තාක්‍ෂණ එම්කේ 7 පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, බිම්බෝම්බ ක්‍රියාකරවීමේ කළමනාකරණ පාඨමාලාව, ආපදා සැලසුම් පාඨමාලාව, රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර දැක්වීමේ දෙවන මට්ටමේ පාඨමාලාව, ඉංජිනේරු නිලධාරීන්ගේ මූලික පාඨමාලාව - බංගලාදේශය, ඉංජිනේරු නිලධාරීන්ගේ සංග්‍රාමික ඉංජිනේරු උපදේශක පාඨමාලාව - ඉන්දියාව, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පුහුණු පාඨමාලාව - චීනය, ආරක්‍ෂක පාඨමාලාව - නෙදර්ලන්තය සහ උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව - ඉන්දිය‍ාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝලීය තොරතුරු සහ යෙදුම් පාඨමාලාව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන), ඉන්දියාවේ හයිද්‍රාබාද් හි ඔස්මානියා විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යාපනික සහ හමුදාමය නොවන පාඨමාලා කිහිපයක් ද හදාරා ඇත.