03rd July 2024 18:48:21 Hours
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් 2024 ජුලි මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී අභියෝගාත්මක අවස්ථාවන් හී දී දැක් වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව ද සිය කෘතඥතාවය පල කලේය. සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය. යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.
මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 31 ඒ යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බඳවාගනු ලැබීය. ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කළ එතුමන් දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 අප්‍රේල් මස 05 දින ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2022 මැයි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 ජූලි මස 08 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම ලබන විට 1 බලකායේ බලකාධිපති ධූරය හෙබවීය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 1 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ කණ්ඩභාර නිලධාරි, 1 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, පාබල පුහුණු මධ්‍යස්ථානයේ බලඇණි ආධාරක අවි පාඨමාලාවේ උපදේශක නිලධාරී සහ නිලධාරී අණදෙන, 8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, සාලියපුර ගජබා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක, 8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ කාර්යය නියුක්ත දෙවන අණදෙන නිලධාරි, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (පුහුණු), 3 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරී, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (ක්‍රියාන්විත සහ පුහුණු), 12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, මහනුවර ප්‍රාදේශීය මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 23 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චිය කර්නල් (ඉදිරි නඩත්තු පෙදෙස), 64 පාබල සේනාංකයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදන), 662 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 1 බලකායේ බලකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.
මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ හමුදා දිවිය තුළ එතුමන් කණ්ඩභාර නිලධාරි උපක්‍රමික පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, මූලික පරිගණක පාඨමාලාව, බැලන්ස් ස්ටයිල් පාඨමාලාව, අභ්‍යන්තර නිරීක්‍ෂක සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, මෝටාර් බෝම්බ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ඒකාබද්ධ මෙහෙයුම් මාණ්ඩලික පාඨමාලාව - චීනය, යුද්ධ හමුදා මධ්‍යම අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය සහ ජාතික ආරක්‍ෂාව සහ යුද පාඨමාලාව - පාකිස්ථානය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවක් සහ පාකිස්තානයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාතික ආරක්‍ෂාව සහ යුද අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ඇතුළු උසස් අධ්‍යාපනික සහ හමුදාමය නොවන පාඨමාලා කිහිපයක් ද හදාරා ඇත.