Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2024 22:20:03 Hours

‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට යුද්ධ හමුදාපතිතුමන් සහභාගී වෙයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචනා කරන ලද ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය. මෙම උත්සවය 2024 ජුනි මස 28 වන දින නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේ දී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී විය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ නාවික හමුදාධිපති ඇතුළු පිරිස විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ විය.

මෙම උත්සව අවස්ථාවට ගරු. කථානායක මහින්ද යාපා අබේවර්ධන, කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් , නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, කතුවරයාගේ පවුලේ සාමාජිකයින්, පොලිස් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

පිළිගැනීමේ කතාවෙන් පසුව උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර, අනතුරුව ආචාර්ය රිචඩ් ද සොයිසා විසින් ග්‍රන්ථය පිළිබඳව විචාරයක් සිදු කරන ලදී. කතුවරයාගේ හමුදා ජීවිතය සම්බන්ධ කැපවීම පිළිබඳව පැමිණ සිටි පිරිසගේ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා එතුමන් පිළිබඳව කෙටි වීඩියෝවක් ද ප්‍රදර්ශනය කෙරිණි.

උත්සව අවස්ථාවේදී කතුවරයාගේ දියණියන් දෙදෙනා විසින් විශේෂ කථාවන් පවත්වන ලද අතර, එය සංවේදී ජනක අවස්ථාවක් විය. අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැමිණ සිටි පිරිස අමතමින් සිය ග්‍රන්ථයේ පළමු පිටපත ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත උත්සවාකාරයෙන් පිළිගන්වා විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කළ අතර, අනතුරුව, සම්භාවනීය අමුත්තන් අතර ග්‍රන්ථයේ පිටපත් බෙදාදීම සිදුකරනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන දේශනය පවත්වමින් ග්‍රන්ථයේ වැදගත්කම සහ හමුදා නායකත්වය තුලින් ජාතිය පිළිබඳ ඇති කැපවීම පිළිබඳව අවධාරණය කළේය. අනතුරුව යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ භටපිරිස් විසින් ඉදිරිපත් කරන ලද අලංකාරවත් නර්තන අංගයන්ගෙන් උත්සවය වඩාත් වර්ණවත් විය.

ඉන් පසුව මේජර් ජෙනරල් ශ්‍රීනාත් රාජපක්‍ෂ (විශ්‍රාමික) විසින් ග්‍රන්ථයේ කතුවරයාගේ අතීත යුධ දිවියේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. උත්සවයේ කටයුතු අවසන් කරමින් ස්තුති කථාව සිදුකරනු ලැබීය.