25th June 2024 18:58:27 Hours
අක්‍ෂි දන්දීමේ ඈත ඉතිහාසයක් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාව, පාකිස්තානය සමඟ ඇති දිගුකාලීන සබඳතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පාකිස්තානු යුද්ධ හමුදාවට අක්‍ෂි පටක පරිත්‍යාග කිරීමේ වැඩසටහන නැවත ආරම්භ කර ඇත. අභියෝගාත්මක අවස්ථා වලදී එකිනෙකාට සහය වූ සහෝදර ජාතීන් දෙකක් වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය, දෙරටෙහි වැසියන් අතර ඇති සබඳතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම උදාර මානුෂීය වැඩසටහන නැවත ආරම්භ කරනු ලැබීය.
සංකේතාත්මකව අක්‍ෂි පටක පහක් පළමු පියවර වශයෙන් පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ඩී.කේ.ආර්.එන් සිල්වා ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් පාකිස්තානු හමුදා අක්‍ෂි රෝහලේ වැඩබලන ශල්‍ය වෛද්‍ය ජෙනරාල් සහ රාවල්පින්ඩි සන්නද්ධ හමුදා අක්‍ෂි වෛද්‍ය ආයතනයේ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඉෆ්ටික්හාර් අහමඩ් සත්ති (Major General Iftikhar Ahmed Satti) වෙත 2024 ජූනි මස 21 දින නිල වශයෙන් භාර දෙන ලදී. මෙම අවස්ථාවට සන්නද්ධ හමුදා අක්‍ෂි වෛද්‍ය ආයතනයේ සේනාවිධායක හා පීඨාධිපති බ්‍රිගේඩියර් (වෛද්‍ය) වකාර් මුසාෆර් (Brigadier (Dr.) Waqar Muzaffar) සහ කාර්යය මණ්ඩලය සහභාගී වූහ.
ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්හිදී අක්‍ෂි පටක අහිමි වූ හෝ හානි වූ පාකිස්තානු හමුදාවේ දක්‍ෂ සාමාජිකයින්ට මෙම අක්‍ෂි පටක බද්ධ කරනු ලැබේ. මෙම පරිත්‍යාගයන් මගින් ඔවුන්ගේ ඇස් පෙනීම නැවත ලබා ගැනීමට හැකි වන අතර, ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන්ගේ ඇසින් නැවත ලෝකය දැකීමට ඔවුන්ට ඉඩ සැලසේ.
දිවංගත දේශමාන්‍ය වෛද්‍ය හඩ්සන් සිල්වා මහතා විසින් 1964 දී ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය ආරම්භ කරනු ලැබූ අතර, ආරම්භ කල දින සිට මේ දක්වා ලොව පුරා අක්‍ෂි පටක 88,000 කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත. ඒ අතරින් අක්‍ෂි පටක 36,000කට වැඩි ප්‍රමාණයක් පාකිස්තානයට පරිත්‍යාග කර ඇත.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පාකිස්තාන, ආරක්‍ෂක උපදේශකතුමන්ගේ සම්බන්ධීකරණයෙන් සහ පාකිස්තාන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ඉඩ්‍රිස් අද්මානි (Idris Admani) මහතාගේ දායකත්වයෙන් මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදුකරනු ලැබීය.