25th June 2024 23:15:08 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධ සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුනි මස 22 දින 1 ඉංජිනේරු සේවා බලකායේ නිල සංචාරයක නිරත වූ අතර, කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් පී.ඒ.ඒ.එස් පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.
1 ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරීතුමන් විසින් කර්නල් සේනාවිධායකතුමන් වෙත එම ඒකකයේ රාජකාරි, වගකීම් සහ මෑතකාලීන ජයග්‍රහණයන් පිළිබඳව දැනුවත් කරමින් යුද්ධ හමුදාවේ කටයුතු සඳහා දායකත්වය දැක්වීමේදී සිදුකරනු ලබන වැදගත් කාර්යභාරයන්ද පෙන්වා දුන්නේය. අනතුරුව එතුමන් පරිසරය සුරකීමේ වගකීම සහ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් රෙජිමේන්තුවේ කැපවීම සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.
කඳවුරු පරිශ්‍රයේ සංචාරය අතරතුර, එතුමන් එම ඒකකයේ භටපිරිස්හි හැකියාවන් පිළිබඳ දැනුවත් වූ අතර, එම සංචාරය සනිටුහන් කරමින් නිලධාරීන් සමගින් සමූහ ඡායාරුපයක් සඳහා ද පෙනීසිටියහ.
තේ පැන් සංග්‍රහයක් සඳහා එක්වූ එතුමන් එහිදී ඒකක භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්හ. අනතුරුව එතුමන් විසින් භටපිරිස් ඇමතීම සිදුකල අතර, එහිදී ඒකකය වෙනුවෙන් සියලු නිලයින් විසින් සිදුකරනු ලබන කැපවීම සහ වෘත්තීයභාවය පිළිබඳව ඇගයීමට ලක් කරන ලදී.
සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය. මෙම සංචාරය ඉංජිනේරු සේවා බලකායේ සාමාජිකයින්ගේ වෘත්තීයභාවය, කැපවීම සහ යුද්ධ හමුදාව තුළ සිදුකරනු ලබන වැදගත් කාර්යභාරය පිළිබඳව පිළිබිඹු කරමින් ඒකකය තුළ ඇති බැඳීම් තවදුරටත් ශක්තිමත් කලහ.
මෙම සංචාරය සඳහා ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එල්. මුණසිංහ යූඑස්පී, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද එක් වූහ.