Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2024 10:03:00 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් දීපදුත්තමාරාමය විහාරස්ථානයේ චෛත්‍යය නිරාවරණය කෙරේ

තිරප්පනේ, දීපදුත්තමාරාමය කට්ටමුරිච්චාන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යය 2024 ජුනි මස 22 දින විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

සම්ප්‍රදායික නැටුම් අංගයන් මධ්‍යයේ විහාරස්ථානයට පැමිණී යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ දායක සභාවේ සාමාජිකයෙකු වන නලින්ද හේරත් මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

විහාරාධිපති පූජ්‍ය තලවේ ජිනරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් චෛත්‍යයේ කොත සහ විශේෂ සමරු ඵලකය නිරාවරණය කරණ ලදී. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මල් පහන් සහ අටපිරිකර පූජාවක් ද සිදුකෙරෙණි. අනතුරුව, සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමත් සමඟ චෛත්‍යය ඉදිකිරීම සඳහා මූල්‍ය පරිත්‍යාග කරන ලද නලින්ද හේරත් මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.

චෛත්‍යය ඉදිකිරීමට දායකත්වයට ලබාදුන් පුද්ගලයන් ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංකේත ප්‍රදානයක් සිදුකළේය. සංස්කෘතිකාංග ඉදිරිපත් කල ගායක ගායිකාවන් දිරිමත් කිරීම සහ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් යුද්ධ හමුදා භටපිරිස් වෙත විශේෂ තිළිණ ප්‍රදානයක් ද සිදුකල අතර අනතුරුව, කට්ටමුරිච්චාන පාසල් සිසුසිසුවියන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල නැංවීමේ අරමුණු කරගනිමින් රු. 250,000.00 මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දිසාපතිවරුන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූ අතර, දායක සභා සාමාජිකයකු ස්තුති කතාව සිදුකිරීමෙන් අනතුරුව, උත්සවයේ වැඩකටයුතු අවසන් විය