08th June 2024 20:19:55 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශයන්හි විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් 2024 ජුනි මස 02 දින වැඩසටහනක් පැවැත්විණි. විශ්‍රාමික රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සුවදුක් විමසීම සහ ඔවුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහභාගි විය.
යුද්ධ හමුදා මූලස්ථානයේ වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය, නීති සේවා, මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය, සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය, රණවිරු සේවා හා පුනුරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් උපකාරක මධ්‍යස්ථාන හතක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා එම රණවිරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සහ ඔවුන්ගේ කරුණු පිළිබඳව දැනුම්දීමේ අවස්ථාව හිමිව ඇත.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා සුභසාධන සහ පුනරුත්ථාපන ක්‍රියාවලීන් පිළිබඳ වාර්තාමය කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි. යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් දේශනයක් පවත්වමින් දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් ඔවුන් ජාතිය වෙනුවෙන් සිදුකළ උත්තරීතර සේවයත්, යුද්ධ හමුදා භටපිරිස්හී නිර්භීතකම සහ විනයගරුක සේවය ද ඇගයීමට ලක්කළේය. අනතුරුව රැස්ව සිටි පිරිසට තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසාදෙනුු ලැබීය.
මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරින්, විශ්‍රාමික රණවිරුවන් 610 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.