Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2024 08:05:02 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 2024 ජුනි මස 06 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරයක නිරත වූයේය. සංචාරයේ නිරත යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ආමන්ත්‍රණය කරමින් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කළ අතර සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කැපවීම ඇගයීමට ලක්කළේය. එමෙන්ම, රාජකාරි අතරතුර භටපිරිස් සමඟින් සුහඳතාවය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් පෙන්වා දුන්නේය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වීමෙන් පසු එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයකට ද යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි විය.

එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වූයේය. එම මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, 22, 23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භඨකාර්ය සම්පාදන ආඥාපති, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.