04th June 2024 18:24:11 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථාපිත බලඇණි පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් අයි.ඩී.එස්. ධර්මරත්න ආර්එස්පී එල්එස්සී 2024 මැයි මස 30 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි කර්නල් අයි.ඩී.එස්. ධර්මරත්න ආර්එස්පී එල්එස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් එතුමන් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ නව සේනාවිධායකතුමන් එතුමන්ගේ දැක්ම සහ රාජකාරි ස්වභාවය පිළිබඳ දැනුවත් කළේය. එම පුහුණු පාසලේ අභිවෘද්ධිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ධනාත්මක ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමේදී කණ්ඩායමක් ලෙස රාජකාරි සිදුකිරීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් වැඩිදුරටත් අවධාරණය කළේය.