Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2024 20:01:03 Hours

කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන් වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ සාකච්ඡාවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා 2024 ජූනි මස 03 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සම්බන්ධීකරණ සම්මන්ත්‍රණයකට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය. මෙම සාකච්ඡාව සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගරු (ආචාර්ය) සරත් වීරසේකර සහ ගරු. එස්.එම්. මරික්කාර් මැතිතුමන්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය ද සහභාගී වූහ.

විපතට පත් ප්‍රදේශවලට අදාළ තීරණාත්මක කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකෙරිණි. එහිදී, අවතැන් වූ ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් ආහාරපාන ලබාදීම ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කෙරිණී. එමෙන්ම, සම්බන්ධතාව පවත්වාගෙන යාම සහ අවතැන් වූවන් වෙත සහන සැලසීමේ කටයුතු ඵලදායී ලෙස සම්බන්ධීකරණය කිරීම සඳහා වැදගත් වන බලශක්තිය සහ සන්නිවේදන සේවා කඩිනමින් ස්ථානපනය කිරීම පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා විය.

මීට අමතරව, රජයේ ආයතන විසින් සිදුකරනු ලබන ආපදා සහන යාන්ත්‍රණයට සහය දැක්වීමට අවශ්‍ය සියලු පියවරයන් යුද්ධ හමුදාව වෙතින් ගනු ලබන බව යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාව සඳහා ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පතිතුමන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.