Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2024 21:03:10 Hours

‘ගුරුදෙව් සුව අරණ’ භික්‍ෂු රෝහල විවෘත කිරීමේ අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

අපවත් වී වදාළ අතිපූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නාහිමිපාණන්ගේ සංකල්පයක් මත කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණනන්ගේ අනුශාසනාවකට අනුව දින හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ ‘ගුරුදෙව් සුව අරණ’ භික්‍ෂු රෝහල විවෘත කිරීමේ උත්සවය 2024 ජූනි මස 01 දින පැවති අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී වේ.

හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ භික්‍ෂූන් වහන්සේලා 50 නමකට ප්‍රතිකාර කළහැකි පස්මහල් හා තෙමහල් ගොඩනැඟිලි සංකීර්ණයක් සහ භික්‍ෂූන් වහන්සේ 500 නමකට භාවනායෝගීව වැඩවාසය කළහැකි පරිශ්‍රයක් 2024 ජූනි මස 01 දින පැවති මෙම උත්සවයේදී ත්‍රිවිධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි. 6 ඉංජිනේරු සේවා බලකා භටපිරිස්හී ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම භාවිතා කරමින් මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකරගැනීමට හැකියාව ලැබිණි.

මෙම පුණ්‍ය අවස්ථාව සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ දකුණු කොරියානු දූත පිරිසක්, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අමාත්‍ය ගරු. (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මැතිතුමන්, ශ්‍රී ලංකා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ ගරු. සිසිර ජයකොඩි මැතිතුමන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ගරු ප්‍රදීප් නිලංග දෑල මහතා සහභාගී වූහ.

මෙම උත්සවයේදී, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රයන්ගෙන් අනතුරුව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් දකුණු කොරියාවේ Long Fomg Temple විහාරස්ථානයේ විහාරාධිපති නෝගැන්ග් (Neunghaeng) භික්‍ෂූන් වහන්සේ වෙත විශේෂ සමරු තිළිණයක් පූජාකරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.