Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2024 18:35:05 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් බදුල්ල සහ මොණරාගල ප්‍රදේශයන්හි විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් 2024 ජුනි මස 01 දින උත්සවයක් පැවැත්විණි. විශ්‍රාමික රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සුවදුක් විමසීම සහ ඔවුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීමේ අරමුණින් මෙම උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහභාගි විය.

යුද්ධ හමුදා මූලස්ථානයේ වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය, නීති සේවා මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය, සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය, රණවිරු සේවා හා පුනුරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් උපකාරක මධ්‍යස්ථාන හතක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා එම රණවිරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සහ ඔවුන්ගේ කරුණු පිළිබඳව දැනුම් දීමේ අවස්ථාව හිමිව ඇත.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා සුභසාධන සහ පුනරුත්ථාපන ක්‍රියාවලීන් පිළිබඳ වාර්තාමය කෙටි චිත්‍රපටයක් ඉදිරිපත් කෙරිණි. යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් දේශනයක් පවත්වමින් දිවංගත රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන් ජාතිය වෙනුවෙන් සිදුකළ සේවයත්, යුද්ධ හමුදා භටපිරිස්හී නිර්භීතකම සහ විනයගරුක සේවය ද ඇගයීමට ලක්කළේය. අනතුරුව රැස්ව සිටි පිරිසට තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසාදෙනුු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.