28th May 2024 16:48:07 Hours
කන්කසන්තුරේ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක වන අලි රංචුවක් ගැටීම හේතුවෙන් එම දූම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ලවිය.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් හා 561 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති කර්නල් ආර්.එස්. දිසානායක ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත එම බලසේනාවේ සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කණ්ඩායම් දෙකක් කඩිනමින් එම ස්ථානය වෙත ගොස් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දුම්රිය නිලධාරීන් සමඟ එක්ව කඩිනමින් මුදවාගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.
මෙම මෙහෙයුම, දුම්රිය මඟීන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සහ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබීය. ඊට සමගාමීව, වනජීවී නිලධාරීන් වන අලින්ගේ තත්ත්වය පිළිබඳ තක්සේරු කර එක් මරණයක් සහ අලි පැටවෙකුට තුවාල සිදුවී ඇති බව තහවුරු කරගත් අතර තුවාල වූ සත්වයාට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබීය.
පැය දහයකට ආසන්න කාලයක් පමණ මෙම මෙහෙයුම සිදුකළ අතර එහිදී දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීම සඳහා භටපිරිස් විසින් දුම්රිය මාර්ගයේ තිබූ සුන්බුන් ඉවත් කිරීම සහ හානියට පත් දුම්රිය මාර්ගය පිළිසකර කරමින් අනුරාධපුරය සහ කන්කසන්තුරේ අතර දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරනු ලැබීය.