Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2024 12:34:00 Hours

වෙසක් සැමරුම් උත්සවයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් වැඩසටහන් මාලාවක්

2024 වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් 2024 මැයි මස 23 දින සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් එදින උදෑසන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් කන්කසන්තුරේ තිස්ස විහාරස්ථානය වෙත පූජනීය කරඬුවක් පූජාකර එම විහාරස්ථාන දාගැබේ කොත් වහන්සේ තැන්පත් කරන ලදී. එම විහාරස්ථානයේ තැන්පත් කිරීමට ප්‍රථම මෙම කරඬුව සහ කොත් වහන්සේ 2024 මැයි මස 13 දින සිට එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස්හි වන්දනාමාන කටයුතු සඳහා තැන්පත් කර තැබිණි.

එදින සන්ධ්‍යාවේ, යුද්ධ හමුදා බැති ගී කණ්ඩායම් දෙකක්, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය නියෝජනය කරමින් බැති ගී කණ්ඩායම් තුනක සහභාගීත්වයෙන් ස්ථාන පහකදී භක්ති ගීත වැඩසටහන් මාලාවක් ද පැවැත්විණි. වැඩසටහන සමාප්තියේ, එම සියලුම කණ්ඩායම්වල සහභාගීත්වයෙන් යාපනය, නාග විහාරස්ථාන පරිශ්‍රයේදී හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන්ගේ රසවින්දනය උදෙසා තවත් භක්ති ගීත වැඩසටහනක් පැවැත්විණි. බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම සිහිපත් කරමින් පැවැත්වූ මෙම භක්ති ගීත වැඩසටහන කාන්තා සෙබළියන් ඇතුළු භටපිරිස්හී සහභාගීත්වයෙන් පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ මඟපෙන්වීම මත ප්‍රථම වරට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් ඒකාබද්ධව යාපනය ප්‍රදේශයේ සංවිධානය කරනු ලැබූ මෙම වෙසක් සැමරුම් උත්සවයට සමගාමීව යාපනයේ නාග විහාරස්ථානයේ ‘වෙසක් කූඩු’ තරඟයක් පැවැත්විණි. වෙසක් උත්සවය වෙනුවෙන් යාපනය නගරය සහ ඒ අවට ප්‍රදේශ හා හමුදා කඳවුරු තුළ වෙසක් පහන් කූඩු සහ විදුලි පහන් වලින් ආලෝකමත් කෙරිණි.

නාග විහාරස්ථාන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ප්‍රධාන දන්සැලට අමතරව තවත් ස්ථාන රැසක වෙසක් දන්සැල් සංවිධානය කර තිබුණි. ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමන්, රජයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පොලිස් ප්‍රධානීන් සමඟ එක්ව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මෙම ‘වෙසක් දන්සල්’ සමාරම්භයට එක්වූ අතර ඔවුන් ‘භක්ති ගීත’ වැඩසටහන් සඳහා ද සහභාගී වූහ. යාපනය අර්ධද්වීපයේ ආගමික සහ ජනවාර්ගික සංහිඳියාව සංකේතවත් කරමින් ‘භක්ති ගීත’ වැඩසටහන් සහ ‘දන්සල්’ සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.

වෙසක් සැමරුමට සමගාමීව, 521 පාබල බලසේනාව වෙතින් පේදුරුතුඩුව ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා මූලස්ථානය ඉදිරිපිටදී රොටී සහ තේ පැන් දන්සැලක් පැවැත්වීය. එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.එච්.ආර්. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ නිලධාරීන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම දන්සැල සංවිධානය කෙරිණි.

මෙම වෙසක් සැමරුම් උත්සව සාර්ථකව පැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 51 සහ 52 පාබල සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, උතුරු නාවික විධානයේ ආඥාපති, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී සහ යාපනය නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ නොමසුරු දායකත්වය හිමිවූහ.