Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2024 17:37:04 Hours

ජාතික වෙසක් උත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනය සනිටුහන් කරමින් පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය 2024 මැයි මස 23 දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ ප්‍රදේශයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මැතිතුමන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.

මාතලේ ධර්මරාජ පිරිවනේ විහාරාධිපති කොස්ගොල්ලේ සීලරතන මහනායක හිමිපාණන් වහන්සේ විසින් පිළිගැනීමේ දේශනය පැවැත්වීමෙන් අනතුරුව මුගුණවෙල අනුරුද්ධ හිමිපාණන් දේශනයක් පවත්වමින් මෙම උත්සවයේ අරමුණ පිළිබඳ විස්තර කළේය.

2024 ජාතික වෙසක් උත්සවයට සමගාමීව, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් එක්ව සංකේතාත්මකව ‘පූජා භූමි සන්නස් පත්‍ර’ හයක් පිරිනැමූ අතර, විහාරස්ථාන හයක් සහ එම ඉඩම් පූජාභූමි ලෙස නම් කරමින් තවත් විහාරස්ථාන පහක් සඳහා ‘නිදහස් දීමනා පත්‍රයන්’ ද පිරිනැමූහ.

ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත සංකේතාත්මකව පවරාදෙනු ලැබූහ. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගය මත 8 ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබූහ.

පසුව, කලල්පිටිය ක්‍ෂේත්‍රරාම විහාරස්ථාන දහම් පාසලේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් භක්ති ගීත වැඩසටහනක් පැවැත්විණි. අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ ගරු. ලලිත් යූ ගමගේ මැතිතුමන් රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ පණිවිඩය ඉදිරිපත් කරනු ලැබීය. උත්සවය සමාප්තියේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් ස්තූති කථාව පැවැත්වීය.

මෙම අවස්ථාවට සහභාගී වූ විදේශීය නියෝජිතයින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණ කිහිපයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.