23rd May 2024 18:30:53 Hours
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 මැයි මස 21 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
උත්සව අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එෆ්. ජෝසප් යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. පසුව, එතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථාන ස්මාරකය අභියසදී දිවංගත වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකළහ.
රෙජිමේන්තු සරඹ භූමියේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව එතුමන් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය. බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේදී පැවති සියලුනිල තේ පැන් සංග්‍රහයක් සහ සෙසුනිල භෝජනාගාරයේදී පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා සහභාගී වූ එතුමන් භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවිය.
එදින සන්ධ්‍යාවේ, මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ අරමුණින් ඉංජිනේරු බලකා නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන්ගේ සහභාගීත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ආදර්ශවත් සේවය වෙනුවෙන් කෘතඥතාවය පුදකරමින් මූල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසි පීඑස්සී විසින් සමුදීමේ දේශනය සිදුකළේය. පසුව, මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ දේශනයක් සිදුකරමින් සිය හමුදා දිවිය පුරාවටම නොසැලෙන සහයෝගයක් ලබාදුන් නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත සිය ප්‍රශංසාව පිරිනැමීය.
උත්සවය සමාප්තියේ විශ්‍රාම දිවයට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය අගයමින් සමරු තිළිණයක් ප්‍රදානය කෙරිණි. මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී විය.