Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2024 06:40:52 Hours

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිතුමිය යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපතිනී ප්‍රභාෂිනි පොන්නම්පෙරුම මහත්මිය සිය ධූරයේ රාජකාරි භාර ගැනීම සඳහා මියන්මාරය වෙත පිටත්ව යාමට පෙර 2024 මැයි මස 22 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූවාය.

2003 වසරේ තානාපති සේවයට එක් වූ එතුමිය මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස නුදුරේදීම එම ධුරයේ රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත. එතුමිය 2021 වසරේ සිට 2023 වසර දක්වා විදේශ වත්කම් කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් තනතුර හෙබවූ අතර, දැනට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අප්‍රිකානු රජයේ සම්බන්ධීකරණ කටයුතු අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන්නීය.

මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් නව තානාපතිතුමියගේ පත්වීම වෙනුවෙන් සිය සුභාශිංසන එක් කල අතර ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර ද්විපාර්ශ්වීය සුහදතාවය වැඩි දියුණු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව යුද්ධ හමුදාපතිතුමන් එහිදී අවධාරණය කළේය. සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපතිතුමිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.