17th May 2024 17:51:18 Hours
අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ මේජර් සී.බී කොහොන (විශ්‍රාමික) ගේ දේහයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 මැයි 16 දින මහනුවර පිහිටි නිවසේදී සිය අවසන් ගෞරවය දැක්වීය.
අභාවප්‍රාප්ත මේජර් සී.බී කොහොන (විශ්‍රාමික) මාතලේ විජය විද්‍යාලයේ හිටපු පාසල් ශිෂ්‍යභට ගුරුවරයෙකු වන අතර, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදී පාසල් සමයේ තම ශිෂ්‍යභට ගුරුවරයා වෙත අවසන් ගෞරව දක්වා එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය.
මේජර් සී.බී කොහොන (විශ්‍රාමික) 2024 මැයි 14 ඉරිදා දින ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් නාරාහේන්පිට, කොළඹ යුද්ධ හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වූ අතර, ඒ වන විට එතුමන් 73 වන වියේ පසුවිය.
එතුමන් 1983 මාර්තු මස 07 දින CCC-1 බඳවා ගැනීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට බඳවා ගන්නා ලද අතර, අනතුරුව දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයෙන් මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු, ඔහු දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකාය වෙත එක් විය. යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හොබවමින් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් මේජර් නිලය දක්වා උසස්වීම් ලබා ඇති එතුමන් වර්ෂ 2011 ජනවාරි මස 18 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම දිවියට එළඹීය.