16th May 2024 21:55:30 Hours
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් 2024 මැයි මස 16 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී අභියෝගාත්මක අවස්ථාවන් හී දී දැක් වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව ද සිය කෘතඥතාවය පල කලේය.
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, තම රාජකාරි කාලසීමාවේදී ලබාදුන් මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළ අතර, සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.
එතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1988 ජුලි මස 26 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස පාඨමාලා අංක - 30 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාවන් සාර්ථකව අවසන් කර 1990 ජුනි 09 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනියුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2021 මැයි මස 07 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 මැයි 25 දින වයස අවුරුදු 55 සම්පූර්ණ වී යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම දිවියට එලඹෙන එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති යන ධූරයන්හි කටයුතු කරනු ලැබුවේය.
විශ්‍රාම දිවියට පා තබන එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළදී 6 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඛණ්ඩභාර නිලධාරි, යුද්ධ හමුදා පුහුණු පාසලේ විධායක අධිකාරී, 6 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බුද්ධි නිලධාරි, 5 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 53 සහ 51 බලඝණයන්හි නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී 2 (භඨකාර්ය සම්පාදක), 9 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මූලස්ථාන බලඝණයෙහි නිලධාරි අණදෙන, 5 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කාර්යයේ නියුක්ත ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), 6 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1, 58 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 581 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 612 පාබල බලසේනාවේ සහ 141 පාබල බලසේනාවේ බලසේනාධිපති, සිරිසර පිවිසුම ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චිය, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වැනි ධූරයන් රැසක් හොබවා ඇත.
සටන් බිමේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් සහ යුද්ධ හමුදාවේ කීර්තිමත් සේවය වෙනුවෙන් එතුමන් ‘රණ ශූර පදක්කම’, ‘විශිෂ්ඨ සේවාවිභූෂණය’ සහ ‘උත්තම සේවා පදක්කම’ පිරිනමා ඇත.
එතුමන්ගේ හමුදා දිවිය තුළදී ඛණ්ඩභාර නිලධාරී උපක්‍රමික පාඨමාලාව, ක්‍ෂේත්‍ර ඉංජිනේරු මූලික පුහුණු පාඨමාලාව, යන්ත්‍ර ක්‍රියාකරු සහ සවි කිරීමේ පාඨමාලාව, නිලධාරී විශිෂ්ටතා පාඨමාලාව, නිලධාරී ක්‍රියාන්විත මාණ්ඩලික රාජකාරී පාඨමාලාව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පුහුණු පාඨමාලාව, පරිගණක පාඨමාලාව, පාබල බලඇණි පුහුණු පාඨමාලාව, Lay Counselor පාඨමාලාව, හමුදා භූගෝල විද්‍යා පාඨමාලාව, බිම්බෝම්බ ඉවත් කිරීමේ කළමනාකරණ පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මූලික කළමනාකරණ පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව, ආරක්‍ෂක උපදේශක සංස්කරණ පාඨමාලාව, කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව - පාකිස්ථානය, තරුණ නිලධාරීන්ගේ මූලික පාඨමාලාව (ඉංජිනේරු) - පාකිස්ථානය, ඉංජිනේරු නිලධාරීන්ගේ Earth Moving Plant Workshop and Construction Plant පාඨමාලාව - ඉන්දියාව, බෙම්ල් නිෂ්පාදන (Beml Products) පිළිබඳ සේවා පුහුණු පාඨමාලාව - ඉන්දියාව ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ හා හමුදා පාඨමාලාව- ස්විට්සර්ලන්තය සහ ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් චීනයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ උසස් ඩිප්ලෝමාව, ඉන්දියාවේ දේවි අහිල්යා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ නිපුණතා සංවර්ධන අරමුදල (SDFL) වෙතින් ඉංග්‍රීසි ඩිප්ලෝමා වැනි උසස් අධ්‍යාපනික සහ හමුදා නොවන පාඨමාලා කිහිපයක් ද හදාරා ඇත.