Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2024 15:50:29 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වීම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාව පියවර ගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වීම වැළැක්වීම සඳහා වූ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැයි මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබූ සාකච්ඡාවේදී සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීම ඇතුළු නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම යන වත්මන් ගැටලු පිළිබඳව අවධානය යොමුකරනු ලැබීය.

මෙහිදී යුද්ධ හමුදා සාමාජිකයන් නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වීම අවම කිරීම සඳහා මේ වන විටත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන ලදී. භටපිරිස් අතර ඉහළ විනයක් පවත්වා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව සහ ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් හට නීතිය සහ සදාචාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ පවතින නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කරනු ලැබීය.

මෙම සාකච්ඡාවට රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සී.එස් ඒකනායක ආර්එස්පී, යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියලුම රෙජිමේන්තු මධ්‍යස්ථානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ.