11th May 2024 07:39:41 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 මැයි මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ගජබා රෙජිමේන්තු ඒකකයන්හී අණදෙන නිලධාරීන් ආමන්ත්‍රණය කළේය. ගජබා රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව එතුමන් සිය රෙජිමේන්තුවේ ඒකක අණදෙන නිලධාරින් ආමන්ත්‍රණය කළේ පළමු වරටය.
එහිදී, රෙජිමේන්තු අධිපතිතුමන් ගජබා රෙජිමේන්තුව තුළ පවතින සම්ප්‍රදායන් සහ සාරධර්ම ආරක්‍ෂා කිරිමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. එමෙන්ම, සිය රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් එතුමන්ගේ සහයෝගය සෑම විටම ලබාදෙන බවත් වෘත්තීයභාවය සහ විශිෂ්ඨත්වය වෙනුවෙන් නොසැලෙන කැපවීමකින් නායකත්වය ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීම, යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සහ සොල්දාදුවන්ගේ විනය පවත්වාගැනීම පිළිබඳව ද එතුමන් වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය. බලඇණි පුහුණු පාඨමාලාවන් සඳහා භටපිරිස්හී සහභාගීත්වය වැඩි කිරීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව්. විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ඇතුළු ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.