16th May 2024 21:55:32 Hours
තිස් වසරක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිම ආරක්‍ෂා කිරීමට දිවි හිමියෙන් කැපවී ක්‍රියා කළ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් නීතිවිරෝධී විදේශ රැකියා නියෝජිතයන් පිරිසක් විසින් ක්‍රියාත්මක කරනු ලබන විදේශ රැකියා ජාවාරමකට ගොදුරු වී ඇති බවට වාර්තා වෙයි. එම විශ්‍රාමික රණවිරුවන්ට රුසියාවේ සහ යුක්රේනයේ රැකියා ලබා දෙන බවට පවසා ඔවුන් නොමඟ යවා කුලී හේවායන් වශයෙන් රුසියානු - යුක්රේන යුද කලාපයන්හි යුදමය කටයුතු සඳහා යොදවා ඇති බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මේ වන විට දිවි අහිමි වී හෝ තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි. කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිම ආරක්‍ෂා කිරීමට කටයුතු කල එම ගෞරවණීය රණවිරුවන් විදේශයන්හි කුලී හේවායන් ලෙස කටයුතු කර මෙවන් ඛේදනීය තත්ත්වයකට මුහුණ දීම මහත් ශෝක ජනක සිදුවීමකි.
ඉහළ වැටුප්, එම රටවල පුරවැසිභාවය සහ වෙනත් වරප්‍රසාද ලබාදීමේ පොරොන්දුව මත විදේශීය හමුදාවන්ට බදවාගනු ලැබූවත් ඔවුන්ට මේවන විට වැටුප් හෝ කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවත් , විදේශීය යුද බිම්වලදී තුවාල ලැබූ සහ ජීවිතක්ෂයට පත් වූ අයවළුන්ගේ පවුල්වලට මේවන තුරු කිසිදු වන්දි මුදලක් ලැබී නොමැති බැවින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි අපහසුතාවයකට පත්වී ඇත.
රුසියානු-යුක්රේන යුද්ධයට එක්වී ජීවිතක්ෂයට පත් වූ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට තොරතුරු ලබාගනිමින් තිබේ. එබැවින් තම ජීවිතය පරදුවට තබන මෙවැනි නීතිවිරෝධී ජාවාරම් වලට ගොදුරු නොවන ලෙසත්, එවන් නීතිවිරෝධී තීරණයක් ගැනීමට පෙර තම පවුල්වල සුබසාධනය ගැන සලකා බලන ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලබයි.
මෙම මිනිස් ජාවාරම පිටුපස සිටින මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය සහ බුද්ධි අංශ ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන පුළුල් මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති අතර, ඊට සම්බන්ධ කිහිප දෙනෙකු ද දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලාංකීය පුරවැසියන් වශයෙන් විශේෂයෙන් රණවිරුවන්ට විදේශීය හමුදාවන්හි කුලී හේවායන් ලෙස ජීවිත අවදානමකට මුහුණ දීමට ඉඩ දිය නොහැකි බැව් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩි දුරටත් අවධාරණය කරයි.
මෙලෙස නීතිවිරෝධී ලෙස විදේශීය කුලී හමුදාවන්ට බැඳී ඇති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් තමන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා ඇති අතර එහි පටිගත කරනලද දර්ශන මෙම ප්‍රවෘත්තියේ ඇමුණම් වශයෙන් උඩුගත කර ඇත.