Header

Sri Lanka Army

Defender of the Nation

11th May 2024 07:40:01 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව කෘත්‍රිම අත් පා නිෂ්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවයෙන් රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේදී කෘත්‍රිම අත් පා නිශ්පාදනය කිරිමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන මඟින් දෙරටෙහි සුහදතාවය වර්ධනය කරනු ලබයි. එමගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් බැඳීම සංකේතවත් කරනවා පමණක් නොව, තම ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් කැප වී රණක්‍ෂිතයට පත් වීම නිසා අභියෝගවලට මුහුණ දුන් වීරෝදාර රණවිරුවන්ට සහය වීමට සාමූහික ප්‍රයත්නයක් ද පෙන්නුම් කරයි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු. සන්තෝෂ් ජා (Santosh Jha), ආරක්‍ෂක ලේකම් ජෙනරල් ජී.ඩී.එච් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ රාගම රණවිරු සෙවණ සුවතා නිතේතනයේ සේනාවිධායකතුමන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම ව්‍යපෘතිය, කෘතිම අත් පා නිශ්පාදනය කිරීම සඳහා විශේෂඥ දැනුමකින් යුත් ඉන්දියාවේ ප්‍රසිද්ධියට පත් ජායිපූර්හි පිහිටි ශ්‍රී භගවාන් මහාවීර් විකලාංග සහය කමිටුවේ (Shree Bhagwan Mahaveer Viklang Sahayata Samiti) ඉන්දියානු ජාතිකයින් 8 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මැයි 03 දින ආරම්භ විය. මැයි 23 දින නිම කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩමුළුව මගින් යුද්ධ හමුදාවේ සාමාජිකයන් 375 දෙනෙකුට, නාවික හමුදාවේ සාමාජිකයන් 25 දෙනෙකුට, ගුවන් හමුදාවේ සාමාජිකයන් 25 දෙනෙකුට සහ පොලිස් නිලධාරීන් 25 දෙනෙකුට කෘත්‍රිම අත් පා ලබා දීම අරමුණ වී ඇත. එසේම සිවිල් වැසියන් 200 දෙනෙකුටද කෘත්‍රිම අත් පා බෙදා දීමට ද සැලසුම් කර ඇත.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ විය. අනතුරුව, සම්භාවනීය අමුත්තන් විසින් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් පසුව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් පිළිගැනීමේ කථාව සිදුකරනු ලැබීය. ඉන් අනතුරුව, ඉන්දීය මහ කොමසාරිස්තුමන් රැස්ව සිටි පිරිස අමතමින්, 2010 වසරේ සිට ශ්‍රී ලංකාවේ මෙවැනිම ව්‍යාපෘතිවලට ඔවුන්ගේ සම්බන්ධ වීම මගින් රණක්‍ෂිතයට පත්වූ යුධ, නාවික, ගුවන් හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන්ට ලබා දුන් සහය පිළිබඳව ආවර්ජනය කළේය.

උත්සව අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එහිදී අදහස් දක්වමින් පසුගිය දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධයේ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලැබූ පරිත්‍යාගයන් සහ කැපකිරීම් පිළිබඳව රජයේ ගෞරවය ලබාදෙමින්, අනාගතයේදී ජාතිය ආරක්‍ෂා කිරීමට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවට අවධාරණය කරනු ලැබීය.

යුද්ධ හමුදා සාමාජිකයින් 04 දෙනෙකු වෙත සංකේතාත්මකව කෘතිම පාද පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු වු අතර, එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.