Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2024 21:40:12 Hours

පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පාඨමාලා හදාරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් ඔවුන්ගේ එම විෂය නිර්දේශයේ කොටසක් ලෙස දින හයක අධ්‍යාපන චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, එම දූත පිරිස මැයි මස 06 දින යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූහ.

එයාර් කොමදෝරු ෆයිසාල් ෆසාල් මුහම්මද් ඛාන් (Air Commodore Faisal Fazal Muhammad Khan)ගේ ප්‍රධානත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් එම දූත පිරිස වැඩබලන යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ කර්නල් එම්.ටී.අයි ගුණවර්ධන ආර්එස්පී පීඑස්සී විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලය වෙත කැටුව යනු ලැබීය.

අනතුරුව, නියෝජිත කණ්ඩායම් ප්‍රධානී එයාර් කොමදෝරු ෆයිසාල් ෆසාල් මුහම්මද් ඛාන්, විශ්ව විද්‍යාලයීය සාමාජික බ්‍රිගේඩියර් වකාස් අලි ඛාන් (Brigadier Waqas Ali Khan), පාඨමාලා සාමාජිකයෙකු වන කොමදෝරු මුහම්මද් කාෂිෆ් ෆර්හාන් (Commodore Muhammad Kashif Farhan) සහ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයින් ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් පීඑස්සී (Colonel Muhammad Farooq psc) යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ.

සුහඳ හමුව අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා සහ පාකිස්ථාන සන්නද්ධ හමුදාවන් අතර පවතින සහයෝගීතාවය, අවබෝධය සහ පුහුණු පාඨමාලාවන් සඳහා භටපිරිස් සහභාගී කරගැනීම තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී, මෙරට යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීමේ කටයුතු වලදී පාකිස්ථානය මෙරටට ලබා දෙන සහයෝගය සහ එම පුහුණුව කොතරම් වැදගත්ද යන්න පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම සහයෝගය ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ නිපුණතා ඉහළ නැංවීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙන බවත්, එමඟින් හමුදා සාමාජිකයින්ගේ වෘත්තීය හැකියාවන් වැඩි දියුණු කරන ලබත් සිහිපත් කළේය. එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිදු කරනු ලබන ඉදිරි උපාය මාර්ගික සැලසුම් සඳහා එම පුහුණුවේ ඇති වැදගත්කමත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තීයමය භාවය ඉහල නැංවීම වෙනුවෙන් පාකිස්ථානයෙන් ලැබෙන වැදගත්කමත් ආවර්ජනය කරමින් පාකිස්ථානය විසින් මෙරටට දක්වන මිත්‍රශීලී දායකත්වය වෙනුවෙන් කෘතවේදීත්වය පළ කළේය.

සුහඳ හමුව අවසානයේ දී දෙපාර්ශවය අතර සුහදතාවය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරනු ලැබීය.