Header

Sri Lanka Army

Defender of the Nation

01st May 2024 11:41:51 Hours

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපතිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2024 අප්‍රේල් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ කැපවීම සහ එතුමන්ගේ සේවා කාලය තුළ විවිධ අභියෝගාත්මක භූමිකාවන් හමුවේ ආදර්ශවත් අයුරින් කටයුතු කිරීම පිළිබඳ මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුම වෙනුවෙන් මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ අමිල දායකත්වය සහ විශේෂයෙන්ම විනයාරක්‍ෂක නිලධාරියෙකු වශයෙන් එතුමන් රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.

යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පුදකළේය. එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය. අනතුරුව විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 32 සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජනවාරි මස 19 දින ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2023 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 මැයි මස 02 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම ලබන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති ධූරයන් හෙබවීය.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විනයාරක්‍ෂක නිලධාරි, 1 විජයබාහු පාබල රෙජිමේන්තුව, 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පුහුණු අංශය සහ 1 කාර්ය සේනාංක මූලස්ථානයේ කණ්ඩභාර නිලධාරි, 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 2 වන විනයාරක්‍ෂක කණ්ඩායම, 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 1 වන විනයාරක්‍ෂක කණ්ඩායම, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පාලන කණ්ඩායම, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ක්ෂේත්‍ර විනයාරක්‍ෂක කණ්ඩායම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා විශේෂ විමර්ශන ඒකකය, 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 1 වන විනයාරක්‍ෂක කණ්ඩායම සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ක්ෂේත්‍ර විනයාරක්‍ෂක කණ්ඩායමේ නිලධාරි අණදෙන, 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විනයාරක්‍ෂක නිලධාරි, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විධායක අධිකාරි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

එමෙන්ම, එතුමන් 1 සහ 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායන්හී දෙවන අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) ශ්‍රී ලංකා බලඇණියේ විනයාරක්‍ෂක කණ්ඩායමේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී 1, 1 සහ 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරි, 23 පාබල සේනාංකයේ කර්නල් (පාලන හා භඨකාර්ය සම්පාදන), භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, 59 පාබල සේනාංකයේ කර්නල් (පාලන හා භඨකාර්ය සම්පාදන), ජාතික ශිෂ්‍යභට බලකායේ බ්‍රිගේඩියර් (පාලන හා භඨකාර්ය සම්පාදන), ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් (පාලන හා භඨකාර්ය සම්පාදන), ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බ්‍රිගේඩියර් (භඨකාර්ය සම්පාදන), ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති යන ප්‍රධාන ධූරයන් ද එතුමන් විසින් හොබවා ඇත.

මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ නොකැළැල් සේවය වෙනුවෙන් එතුමන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ හමුදා දිවිය තුළ එතුමන් මෝටර් රථ ප්‍රවාහන භාර නිලධාරීන්ගේ පාඨමාලාව, ඒකක ගිණුම්භාර නිලධාරී පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, මූලික පරිගණක පාඨමාලාව, ඒකක දෙවන අණදෙන නිලධාරී සංස්කරණ පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, නිලධාරී විනයාරක්‍ෂක පාඨමාලාව - ඉන්දියාව, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලාව - පාකිස්ථානය, භඨකාර්ය සම්පාදන සහ අමුද්‍රව්‍ය කළමනාකරණ පාඨමාලාව - පාකිස්ථානය, මූල්‍ය කළමනාකරණ, සැපයුම් හා අමුද්‍රව්‍ය කළමනාකරණ සහ මානව සම්පත් කළමනාකරණ පාඨමාලාව - පාකිස්ථානය, නිලධාරීන්ගේ අපරාධ විමර්ශන පාඨමාලාව - පාකිස්ථානය, උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව සහ කළමනාකරණය පිළිබඳ උසස් පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හදාරා ඇත.

මීට අමතරව, ඉන්දියාවේ, ඔස්මානියා විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස ආයතනයේ ජ්‍යෙෂ්ඨ රහස් පරීක්‍ෂක ඩිප්ලෝමා පාඨමාලාව, කළුතර පොලිස් පුහුණු පාසලේ පොලිස් මූලික විමර්ශන පාඨමාලාව, ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමයේ මූලික ගලවාගැනීමේ පාඨමාලාව, ශ්‍රී ලංකාවේ ලන්ඩන් ව්‍යාපාරික පාසලේ ‘Microsoft Office Professional’ පිළිබඳ සහතිකය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අපරාධ ආරක්‍ෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමයේ CPR (Cardio Pulmonary Resuscitation) සහතිකය සහ Charted Institute of Logistics and Transport හී සාමාජිකත්වය වැනි උසස් අධ්‍යාපනික හා හමුදාමය නොවන පාඨමාලාවන් කිහිපයක් ද එතුමන් විසින් හදාරා ඇත.