Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2024 10:43:56 Hours

පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික මූලස්ථානයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක

පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික මූලස්ථානයේ නියෝජිත පිරිසක් මෙරට නිල සංචාරයක නියැලෙන අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ආරාධනයෙන් පසුගිය සඳුදා (අප්‍රේල් මස 29) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණියහ.

සිව් දෙනෙකුගෙන් යුත් මෙම දූත පිරිස සඳහා ඒකාබද්ධ මාණ්ඩලික මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ‍ජෙනරාල් ලුතිනන් ජෙනරල් අසාන් ගුල්රෙස්, එච්අයි (එම්), (Lieutenant General Ahsan Gulrez) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත වූහ.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි එම දූත පිරිස යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවාගෙන යන ලදී.

සුහඳ හමුවේදී ද්විපාර්ශවීය වශයෙන් සන්නද්ධ හමුදාවන් අතර දිගුකාලීන සුහදතාවය, සහයෝගීතාවය සහ අවබෝධය පිළිබඳව සිහිපත් කරමින් එම සුහඳතාවය තව දුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් වැදගත් කරුණු කීහිපයක් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් සහ පැමිණ සිටි දූත පිරිස අතර අදහස් හුවමාරු කර ගත්හ.

යුද්ධ හමුදාධිපතිතුමන්, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් වෙත පුහුණු කටයුතු සිදුකිරීමේදී ලබා දුන් සහයෝගය ආවර්ජනය කරමින්, පුහුණුව හා සම්බන්ධ ගැටළු පිළිබඳව අවධානය යොමු කරන ලදී. මෙම සහයෝගය මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ නිපුණතාවය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අතර, එමඟින් හමුදාවේ වෘත්තීය භාවය ඉහල නංවන අතර, මෙරට යුද්ධ හමුදාවේ දියුණුව සඳහා පාකිස්ථානයෙන් ලබාදෙන එම සහාය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් කෘතඥවේදීත්වය පළ කළේය.

සුහඳ හමුව අවසානයේදී, දෙපාර්ශවය අතර, සුහදතාවය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කළ අතර, ලුතිනන් ජෙනරල් අහ්සන් ගුල්රෙස්, එච්අයි (එම්), යුද්ධ හමුදා මූලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.