Header

Sri Lanka Army

Defender of the Nation

27th April 2024 21:00:14 Hours

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 8 වන සභාපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 8 වන සභාපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවය කොළඹ ගලධාරී හෝටලයේදී පසුගිය සිකුරාදා (අප්‍රේල් මස 26) දින පැවැත්වූ අතර, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

උත්සව අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සාමාජිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම සංගමයේ මන්ත්‍රණ සභා සාමාජිකයින් විසින් එතුමන් උත්සවාකාරයෙන් ප්‍රධාන ශාලාව වෙත කැටුව යනු ලැබීය.

අනතුරුව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය පිළිබඳව සැකසූ කෙටි වාර්තාමය වීඩියෝ පටයක් පැමිණ සිටි පිරිස වෙත ඉදිරිපත් කරන ලද අතර, පසුව එම පිරිස ජාතික ගීය ගායනා කර රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා උත්සව කටයුතු ආරම්භ කල අතර, ශල්‍ය වෛද්‍ය කොමදෝරු (ඩී) ආර්.පී.එන්.එන් විජේදෝරු යූඑස්පී විසින් පිළිගැනීමේ කතාව සිදුකරනු ලැබීය. අනතුරුව ගෞරවනීය ආරාධිතයෙකු වශයෙන් සපැමිණි මහාචාර්ය ආලෝක පතිරණ රැස්ව සිටි පිරිස ඇමතීය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අනතුරුව දේශනයක් සිදුකරමින් පසුගිය මානුෂීය මෙහෙයුමේදී සහ කොවිඩ් -19 වසංගත සමයෙහි ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයන් සිදුකරනු ලැබූ සේවය සිහිපත් කරමින් ඔවුන්ගේ එම සේවය අගය කළේය.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 8 වන සභාපතිවරයා වශයෙන් අභිනවයෙන් පත්වූ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.ආර්.පී පීරිස් රැස්ව සිටි පිරිස අමතමින් එම සංගමයේ ඉදිරි සැලසුම් සහ දැක්ම පිළිබඳව ප්‍රකාශ කළේය.

අනතුරුව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ ගරු ලේකම් කර්නල් ඩබ්ලිව්.එච්.කේ විමලරත්න විසින් ස්තුති කථාව පවත්වනු ලැබීය. සංස්කෘතික සංදර්ශනයක් මගින් උත්සවය වඩාත් වර්ණවත් වූ අතර, උත්සව කටයුතු අවසානයේදී එම සංගමයේ මන්ත්‍රණ සභා සාමාජිකයින් ප්‍රධාන ආරාධිත අමුත්තා සමගින් සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටියහ.

මෙම අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සාමාජිකයින් සහ වෛද්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.