Header

Sri Lanka Army

Defender of the Nation

22nd April 2024 18:25:37 Hours

ධූරයෙන් නික්මයන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපතිතුමන්ට එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ධූරයෙන් නික්මයන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 18 දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරදීම සනිටුහන් කරනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ‘රණවිරු ස්මාරකය’ අභියසදී දිවංගත වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරනු ලැබීය. මෙම අවස්ථාවේදී, භටපිරිස් ආමන්ත්‍රණය කරමින් මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය සේවා කාලය තුළදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ප්‍රමිතීන් ඉහළ නැංවීම උදෙසා කැපවීමෙන් සේවයේ නිරත වූ සියලුම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් බලකාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. උත්සවය සමාප්තියේ බලකාධිපතිතුමන් එම රෙජිමේන්තු විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.