Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2024 19:17:55 Hours

විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුබසාධන හා පරිපාලන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ගජබා රෙජිමේන්තුවේදී

විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ සමීපතම ඥාතීන් 1000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ පරිපාලනමය ගැටලු සොයා බැලීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි මුලිකත්වයෙන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 අප්‍රේල් මස 06 දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍ර‍මිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

රණවිරුවන්ගේ දුක්ගැනවිලි සහ ඔවුන්ගේ පරිපාලනමය ගැටලු සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය. වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය,පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය, නීති සේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය, සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය, රණවිරුසේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් කරුණු විමසීම සදහා උපකාරක මධ්‍යස්ථාන හතක් ස්ථාපිත කර තිබුණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් එම අවස්ථාවට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, යුද්ධ හමුදා සුභසාධනය සහ පුනරුත්ථාපන කටයුතු පිළිබඳව කෙටි වාර්තාමය වීඩියෝවක් ද ඉදිරිපත් කරන ලදී. යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සිඩීඑස් පීඑස්සී විසින් පිළිගැනීමේ කතාව සිදුකිරීමෙන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රැස්ව සිටි පිරිස ඇමතීය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා දේශනය අතරතුරදී මියගිය රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන් මව්බිම වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක්කළේය. දැනට ක්‍රියාත්මක සුබසාධන ව්‍යාපෘති සහ සැලසුම් අදියරේ පවතින ව්‍යාපෘති පිළිබඳවද එතුමන් මෙහිදී පැහැදිලි කළේය. අනතුරුව රැස්ව සිටි පිරිසට අදහස් ප්‍රකාශ කිරීමට ද එහිදී අවස්ථාව හිමිවිය.

මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගී වූහ.