Header

Sri Lanka Army

Defender of the Nation

28th March 2024 12:50:59 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මුලතිව් ප්‍රදේශයේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 2024 මාර්තු මස 27 දින මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් පසුගිය කාලසීමාව තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඒ යටතේ සේවයේ නියුතු භටපිරිස්හි සුවදුක් විමසාබැලීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සංචාරයක නිරතවිය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරයාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් 59 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් එම කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් ද රෝපණය කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ස්ථාපිත කුලමුරිප්පු උළු කම්හලේ සංචාරයක නිරතවිය.

මෙම කර්මාන්ත ශාලාව වසර ගණනාවක් තිස්සේ අත්හැර දමා තිබූ අතර, ලංකා පිඟන් සංස්ථාවේ සභාපති රුවන් මුණසිංහ මහතා විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ගේ අධීක්‍ෂණය මත 2024 පෙබරවාරි මස 15 දින යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් එම කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. ප්‍රදේශවාසීන් වෙනුවෙන් රැකියා අවස්ථා උදාකර දීම සහ ප්‍රදේශයේ මහජන සුබසාධනය නඟාසිටුවීමේ අරමුණින් මෙම කර්මාන්ත ශාලාව ප්‍රතිසංස්කරණය කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා යුද සේවා ලේකම්, 21, 54, 56 සහ 59 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ආඥාපති භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානය - වන්නි, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.