25th March 2024 15:30:34 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 34 කට අධික කාලයක් සේවය කළ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.එම්. මනතුංග (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පසුගිය ඉරිදා (මාර්තු මස 24) දින සිදුකෙරිණි.
ජාතික කොඩියෙන් ආවරණය කරන ලද එතුමන්ගේ දේහය කාතු ගැල මත තැන්පත් කිරීමට ප්‍රථම සුසාන භූමියේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව භාරගනු ලැබීය.
එතුමන්ගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කාතු ගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කර භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. එම අවස්ථාවට ශෝකයට පත් පවුලේ සමාජිකයින් ඇතුළු සියලුම දෙනා සහභාගී වූහ.
යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I, අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණ සිටි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර, හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවාචාරය ලබාදෙමින් වෙඩි මුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ එතුමන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.
හිරු නැඟෙනා මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මධ්‍යයේ එතුමන්ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.එම්. මනතුංග (විශ්‍රාමික) සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.
අවමංගල්‍ය උත්සව අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී වූහ.
එතුමන්ගේ විශේෂ නියෝග I, පහත සඳහන් වෙයි.