Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2024 19:25:32 Hours

නව පොලිස්පතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

පොලිස්පතිධූරයේ පසුගියදා රාජකාරි ආරම්භ කළ ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසුව අද (මාර්තු මස 21) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමු විය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි පොලිස්පතිතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පිළිගනු ලැබීය. අනතුරුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් එතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.

අනතුරුව,යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පොලිස්පතිතුමන් ඉතා උණුසුම් අයුරුන් පිළිගැනීමෙන් පසුව එතුමන් වෙත යුද්ධ හමුදාවේ සියලුම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් පොලිස්පතිතුමන් ඇතුළු පිරිස සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ පොලිස්පතිතුමන් අතර පැවති සුහඳ හමුවේදී යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර අන්‍යොන්‍ය සහයෝගීතාවයෙන් යුතුව රාජකාරි සිදුකිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. එම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ද සහභාගී විය.

සුහඳ හමුව අවසානයේදී, සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරගත් අතර, අනතුරුව පොලිස්පතිතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහන් ලියා තැබීය.