Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2024 21:15:26 Hours

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ඉංජිනේරු සේවා බලකා නිලධාරී නිවස්නයේදී විශේෂ සැමරුම් වැඩසටහනක්

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් ඉංජිනේරු සේවා බලකා නිලධාරී නිවස්නයේදී 2024 මාර්තු මස 08 දින පැවැත්වූ අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් දිරිගැන්වීමේ අරමුණින් විශේෂ වාර්තාමය වීඩියෝවක් ද පුළුල් තිර මත මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.

මෙම වැඩසටහන අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබලියන්ගේ දක්‍ෂතාවයන් එළිදැක්වීමේ අරමුණින් ගීත ගායනා කිරීමේ වැඩසටහනක් ආචාර්ය භාග්‍යා අබේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් මෙම වැඩසටහනේදී යුද්ධ හමුදා සෙබළියන් 100 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙන ලදී. තවද, ඊට සමගාමීව යුද්ධ හමුදා සේවයේ නියුතු ගැබිණි මවුවරුන් 10 දෙනෙකු වෙනුවෙන් වටිනා වවුචර්පත් 10 ක් ද ප්‍රදානය කරනු ලැබීය.

කාන්තා සෙබලියන් රාජකාරියෙන් ඔබ්බට මුහුණදෙන අභියෝග හමුවේ නිවාස හා වෛද්‍ය අවශ්‍යතාවයන් සඳහා මුල්‍ය ආධාර ලබාදීමක් ද මෙහිදී සිදුකෙරිණි. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අනුයුක්තව සේවයේ නියුතු සෙබලියකට නව නිවසක් ඉඳිකරගැනීම වෙනුවෙන් රුපියල් 600,000/- ක මුල්‍ය පරිත්‍යාගයක් සහ තවත් සෙබලියකගේ අඩක් වැඩ නිමවා ඇති නිවසෙහි ඉදිරි වැඩකටයුතු නිමකරවා ගැනීම සඳහා රුපියල් 450,000/- ක මූල්‍ය පරිත්‍යාගයක් ද මෙම අවස්ථාවේදී සිදුකරනු ලැබීය. මීට අමතරව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවකගේ තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවෙකුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් රුපියල් 100,000/- ක මූල්‍ය පරිත්‍යාගයක් ද මෙහිදී සිදුවිය.