Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2024 18:41:30 Hours

ගුවන් හමුදාවේ ‘Air Force Tattoo’ සංදර්ශනය පැවැත්විම පිළිබඳ සම්බන්ධීකරණ සම්මන්ත්‍රණයක්

73 වන ගුවන් හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් 2024 මාර්තු මස 06 දින සිට 10 දින දක්වා යාපනය මුත්‍රවේලි ක්‍රීඩාංගණයේදී ‘Air Force Tattoo’ සංදර්ශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් සියලු කටයුතු සංවිධානය කරනු ලබයි. මෙම උත්සවයේදී, හමුදාමය ගුවන් සේවා, ඉංජිනේරු, ආපදා කළමනාකරණය, ගුවන් වික්‍රමාන්විතයන් සහ මහජන විනෝදාස්වාදය සඳහා පුළුල් ප්‍රදර්ශන මාලාවක් පැවැත්විමට නියමිතව ඇත.

මෙම ප්‍රදර්ශණය නැරඹීම සඳහා සිවිල් වැසියන්ට අවස්ථාව ලබාදීමට සියළු කටයුතු සංවිධානය කරනු ලබයි. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශණය සබැඳිව සම්බන්ධීකරණ සම්මන්ත්‍රණයක් මාර්තු මස 05 දින එම ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ සඳහා, 51 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුවන් හමුදාවේ ගගන ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රමුඛ ගුවන් හමුදා නිලධාරීන් සහ යාපනය සහකාර පොලිස් අධිකාරීතුමන් ඇතුළු පොලිස් නිලධාරීන් ද සහභාගි වූහ. සම්මන්ත්‍රණයෙන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගී වන සිවිල් වැසියන්ට බාධාවකින් තොරව සහභාගී වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අපේක්‍ෂාවෙන් එම ස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවක ද නිරතවූහ.

ඕනෑම අනපේක්‍ෂිත තත්වයක් සඳහා යුද්ධ හමුදා භටපිරිස් යෙදවීම සබැඳිව ද එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය අවධාරණය කළේය. ආරක්‍ෂිතව සහ සාර්ථක ගුවන් හමුදා සන්දර්ශණයක් පැවැත්වීම සදහා යාපනයේ බුද්ධි අංශයේ දායකත්වය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව සම්මන්ත්‍රණය සමාප්ත විය.