Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2024 20:17:19 Hours

ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.එෆ්. ප්‍රභාත් ගේ නිර්භීත ක්‍රියාකලාපය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට

4 විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.එෆ්. ප්‍රභාත් ගේ විශිෂ්ඨ හා නිර්භීත ක්‍රියා කලාපය ඇගයීමට ලක්කරමින් 2024 මාර්තු මස 6 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ ගේ සුරතින් ඔහුට ‘යුද්ධ හමුදාධිපති ප්‍රශංසාත්මක ලාංඡනය’ පිරිනැමිණි.

ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.එෆ්. ප්‍රභාත් නිවාඩු ලබා සිටින අතරතුර 2024 පෙබරවාරි මස 15 දින තලවාකැලේ සුමන විද්‍යාලය අසලදී කාන්තාවක් කොත්මලේ ජලාශයට පැන සියදිවි නසාගැනීමට තැත් කිරීමේදී සිය ආරක්‍ෂාව පිළිබඳව ද නොතකමින් නිර්භීතව අඩි 60 ක් පමණ ගැඹුරු එම ජලාශයට පැන එම කාන්තාව බේරාගනු ලැබීය. ඔහුගේ කාලෝචිත හා පරාර්ථකාමී ක්‍රියාකලාපය තුළින් තරුණ ජීවිතයක් අහිමි වීම වැළැක්විණි.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.එෆ්. ප්‍රභාත් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් අදාළ සිදුවීම සබැඳිව කරුණු විමසා බැලීය. සුහඳ හමුව සමාප්තියේ, එතුමන් ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.එෆ්. ප්‍රභාත් ගේ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක්කරමින් ඔහුගේ ඉදිරි වැඩකටයුතු සඳහා සිය සුබපැතුම් එක්කළේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව්. විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ 4 විශේෂ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ආර්.ඒ.එස්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ද සහභාගී වූහ.