Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2024 16:43:54 Hours

දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 15 වැනි මූලස්ථාන ආරක්‍ෂක භටකණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන්ට ගෞරවාචාර පිරිනමයි

සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භටකණ්ඩායම (SLFPC) බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත පසුගිය සිකුරාදා (මාර්තු මස 01) දින හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව, එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම විසින් යුද්ධ හමුදා සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමන ලදී.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භටකණ්ඩායම සහභාගී වීම සංකේතවත් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජාතික ධජය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ විජයබාහු පාබල රෙජිමේන්තු ධජය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ අණදෙන නිලධාරීතුමන් වෙත භාර දෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භටකණ්ඩායම, නිලධාරින් 11 දෙනෙකු සහ සෙසු නිලයින් 114 දෙනෙකු ඇතුලුව යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකු සමන්විත වන අතර, එම කණ්ඩායමට ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී විතානගේ ආර්එස්පී අණදීම සිදුකරන අතර, මේජර් එච්.එම්.ඩබ්ලිව්.සී බණ්ඩාර යූඑස්පී දෙවන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබයි.

හමුදා සම්ප්‍රදායානූකූල සරඹ පෙළපාලියෙන් අනතුරුව හමුදාධිපතිතුමන් එම භටපිරිස් අමතා රටට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සාමසාධක රාජකාරීන්හි ඇති වැදගත්කම අවධාරණය කළේය. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය තුළ මෙරට යුද්ධ හමුදා කණ්ඩායම ප්‍රමුඛස්ථානයක් ලබාගෙන ඇති බවත් මින් ඉදිරියටද එය තවදුරටත් වර්ධනය කරගමින් කටයුතු කිරීමේ වැදගත්කමත් එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළේය. අනතුරුව, එතුමන් 15 වන මූලස්ථාන ආරක්‍ෂක භටකණ්ඩායම සමඟ සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වීය.

උත්සව අවස්ථාව අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ආරාධනයෙන් විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ ස්ථාපිත විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත නිරාවරණය කල අතර, අනතුරුව එතුමන් එම රෙජිමේන්තු ශ්‍රවණාගාරයේදී භටපිරිස් ඇමතීය.

උත්සව කටයුතු අවසානයේදී, විජයබාහු පාබල රෙජිමේන්තු අධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, අනතුරුව එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය.

15 වන මූලස්ථාන ආරක්‍ෂක භටකණ්ඩායම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මූලස්ථාන ආරක්‍ෂක රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, දැනට ලෙබනනයෙහි රාජකාරී සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්‍ෂක භටකණ්ඩායම 2024 මාර්තු මස 17 දින දිවයිනට පැමිණිමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී,ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සාම සාධක රාජකාරීන් සඳහා නික්ම යාමට නියමිත භටපිරිස්හි පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.