Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2023 15:58:31 Hours

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී, සිය ධූරයේ රාජකාරි අරඹයි

මෑතකදී පත් කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී බදාදා (දෙසැම්බර් මස 20) දින රාජකාරි භාරගත්තේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමීන් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. ඉන් අනතුරුව, එතුමන් භික්‍ෂූන් වහන්සේලා උදෙසා පිරිකර සහ ගිලන්පස පූජා කළේය.

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වශයෙන් රාජකාරි හෙබවූවේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1969 ජුනි මස 06 දින උපත ලබා පානදුර ශාන්ත අන්තෝනි පිරිමි පාසලෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ එතුමන් අධ්‍යාපනයට හා මළල ක්‍රීඩාව තුලින් දස්කම් දක්වමින් සිය පාසල් මෑණියන් වෙත ගෞරවයක් හා කීර්තියක් අත්කර දුන් ක්‍රීඩකයෙකු විය.

වර්ෂ 1988 ජුලි මස 26 දින යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 30 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1990 ජුනි මස 09 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2021 මැයි මස 07 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ සිය හමුදා දිවිය තුළදී අණ, මාණ්ඩලික හා උපදේශක ධුරයන් රැසක් හොබවා ඇත. වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි පැවති මානුෂීය මෙහෙයුමේදී එතුමන් වෙත පැවරූ සංග්‍රාමික රාජකාරින්හිදී සුවිශේෂී කැපවීමක් දක්වමින් එතුමන් එම රාජකාරීන් ඉටුකරනු ලැබීය.

එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළදී ඛණ්ඩ භාර නිලධාරී, නිලධාරී අණදෙන, ජ්‍යේෂ්ඨ නිලධාරී අධි සහායක, යුද්ධ හමුදා පුහුණු පාසලේ විධායක අධිකාරී, ක්‍රියාන්විත සහ පුහුණු කණ්ඩායම් නිලධාරී, මරදාන යුධෝපකරණ ගබඩා සංකීරණයේ ආරක්‍ෂක නිලධාරි, 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II, 3 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි II, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II, අතරමැදි කඳවුර අනුරාධපුර මාණ්ඩලික නිලධාරි II, ආරක්‍ෂක සම්බන්ධීකාරක - ආරක්‍ෂක අමාත්‍යාංශය, 8 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 522 පාබල බලසේනාවේ බලසේනාධිපති, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති, එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් මූලස්ථානයේ හමුදා උපදේශක, ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ ඛණ්ඩ භාර නිලධාරීන්ගේ උපක්‍රමික පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, ගුවන් සංග්‍රාමික පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, Capstone Exercise ‘Shanty Prayas’ - නේපාලය, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ආසියා පැසිෆික් මධ්‍යස්ථානයේ Security Studies Comprehensive Crisis Management Seminar - හොනොලුලු - හවායි සහ ආරක්‍ෂක උපායමාර්ගික අධ්‍යයන වැඩසටහන - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

රණබිමේ දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් එතුමන් ‘විශිෂ්ඨ සේවා විභූශණ’, ‘රණවික්‍රම පදක්කම’ සහ ‘රණශූර පදක්කමෙන්’ ද පිදුම් ලබා ඇත.

තවද, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති වශයෙන් කටයුතු කරයි. දිලූපා පීරිස් මහත්මිය සමඟින් විවාහ ගිවිසගෙන සිටින එතුමන් දියණියන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකු වෙයි.