Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2023 16:57:53 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් සිය අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා හදාරා සෙනසුරාදා (16) දින විසිර යනු ලබන කෙඩෙට් නිලධාරින්ගේ අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කිරීම පසුගිය සිකුරාදා (15) දින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සිනෝ ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ එම අවස්ථාව සඳහා සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ ආරක්‍ෂක අංශ ප්‍රධානීන් සහභාගී වූහ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ තවත් සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

සම්භාවනීය අමුත්තන් ශ්‍රවණාගාරයට පැමිණීමෙන් අනතුරුව එම කෙඩෙට් නිලධාරීන් විසින් ‘'ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හැකියාවන් වැඩි දියුණු කිරීම‘ යන තේමාව ඔස්සේ මනාව සකස් කරන ලද පර්යේෂණ සොයාගැනීම් සංග්‍රහය ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව, ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වූ අතර එහිදී, අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු පිරිස අදහස් දක්වමින් එම මාතෘකාවේ විවිධ පැතිකඩයන් පිළිබඳව කෙඩෙට් නිලධාරින් දැනුවත් කළහ. එම කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත්කිරීමට ප්‍රථම අනිවාර්ය අංගයක් ලෙස මෙම අවසන් පර්යේෂණ ඉදිරිපත් කිරීම සිදුකරනු ලබයි.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කෙඩෙට් නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමෙන් අනතුරුව එම කෙඩෙට් නිලධාරීන් වෙත වැඩිදුර උපදෙස් සහ ජාතික කාර්යයන් වෙනුවෙන් කැපවීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් වෙත ආරාධනා කළේය.

කෙඩෙට් නිලධාරීන්ගේ ඉදිරිපත් කිරීම් සමාප්තියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සඟරාව නිකුත් කිරීම සහ එහි මෘදුකාංග පිටපත උඩුගත කිරීම (uploading) ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ආරාධනයකට අනුව සිදුකෙරිණි. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම සඟරාවේ ප්‍රථම පිටපත අතිගරු ජනාධිපතිතුමන් සහ අනෙකුත් සියලුම සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වීය.

මෙම අවස්ථාවට ආරාධිතයින් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන්ගේ භාර්යාව චිත්‍රානි ගුණරත්න මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ භාර්යාවන් ද එක්වූහ.