Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2023 19:04:44 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යේෂ්ඨතම ධූරය වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සිකුරාදා (දෙසැම්බර් මස 15) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

මහා සංඝ රත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී නිල ලේඛනයකට අත්සන් තබමින් එතුමන් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. අනතුරුව මහා සංඝ රත්න වෙත ‘පිරිකර’ සහ ‘ගිලන්පස’ පූජා කර ආශිර්වාද ලබා ගත්තේය.

මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති වශයෙන්ද රාජකාරි කරයි.

උත්සව අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.

මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1988 පෙබරවාරි මස 22 දින යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 29 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1989 දෙසැම්බර් මස 16 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් සේවා රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2021 මැයි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

දශක තුනක යුද්ධ හමුදා සේවා කාලය තුල එතුමන් අණ, මාණ්ඩලික හා උපදේශක ධුරයන් රැසක් හොබවා ඇති අතර, හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක දූත මණ්ඩලයේ ශ්‍රී ලංකා හමුදාවේ තාක්ෂණික නිලධාරී ලෙසද විදේශයන්හි සේවය කර ඇත.

මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී නවීන මෝටර් රථ තාක්ෂණ පාඨමාලාව, ඒකක අණදෙන නිලධාරී‍ සංස්කරණ පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව (ඉන්දියාව), මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පුහුණු පාඨමාලාව (ඇමරිකා එක්සත් ජනපදය), වැඩපොල නිලධාරී අණදෙන පාඨමාලාව (ඉන්දියාව), මූල්‍ය කළමනාකරණ, භඨකාර්යය සම්පාදක කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණ පාඨමාලාව (පාකිස්ථානය), භටකාර්ය ජ්‍යේෂ්ඨ නිලධාරි විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාව (ඉන්දියාව), ගොඩබිම කාලතුවක්කු අලුත්වැඩියා පාඨමාලාව (චීනය), උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව (ඉන්දියාව) සහ භටකාර්ය සම්පාදක මාණ්ඩලික නිලධාරි පාඨමාලාව (පාකිස්ථානය) දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළදී කළමනාකරණ අධ්‍යයන ශ්‍රාස්ත්‍රපති උපාධිය (MMS) සහ භඨකාර්ය සම්පාදක හා සැපයුම් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනය ශ්‍රාස්ත්‍රපති උපාධිය (MBA) සහ පරිගණක වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර උසස් ඩිප්ලෝමා සහතිකය වැනි උසස් අධ්‍යාපනික සහ හමුදා නොවන පාඨමාලා ගණනාවක් කර ඇත. එතුමන් ලංකා ඔටෝමොබයිල් සංගමය (AA), ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනය (MIM), භඨකාර්ය සම්පාදක සහ ජාත්‍යන්තර ප්‍රවාහනය පිළිබඳ වරලත් ආයතනය (CMILT) සහ මෝටර් රථ ඉංජිනේරු ආයතනය (MIAE) යන ආයතනයන්හි සාමාජිකත්වය ලබා ඇති අතර, ඔහු ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාලයේ (CMETSL) ගෞරවනීය සාමාජිකයෙකි.

මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, මෙරට වෘත්තීය සහ ප්‍රවීණ ජාතික සම්මානලාභී මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයෙකු ලෙස ප්‍රචලිතවි ඇති අතර,මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පත්වීම් ගණනාවක් දරා ඇත. එතුමන් යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපතිවරයා ද වේ.

එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ව්‍යාපෘතිය ලෙස කටයුතු කළ කාලය තුළ කොළඹ අගනගරයේ ඉදිකරන ලද දියත උයන බ්‍රෝඩ්වෝක් අවන්හල, මල් අලෙවි සැල්, මින්මැදුර සහ නව බස් නැවතුම්පල යන ස්ථාන ඉදිකිරීමේ සැලසුම්කරණ කටයුතු සඳහා ද සම්බන්ධ වී ඇත.

Unicolt, Aimov, Unicob සහ APCs යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නවීන බර වාහන යුද්ධ හමුදාව සඳහා නිෂ්පාදනය කිරීමටද එතුමන් දායකත්වය දැක්වීය.