Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2023 19:10:42 Hours

ඝානාවේ පැවති ‘2023 United Nations Peacekeeping Ministerial’ සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී වෙයි

ඝානාවේ ‘Accra’ හිදී දෙසැම්බර් මස 05 සහ 06 යන දෙදින තුළ පැවති ‘2023 United Nations Peacekeeping Ministerial’ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ විශේෂ නියෝජිත ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූ අතර, එහිදී එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ කාර්ය භාර්ය පිළිබඳව සිය ප්‍රථිපත්තීන් ප්‍රකාශ කරන ලදී. මෙම සමුළුවේදී ඊට සහභාගී වූ රටවල් 90 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා වූ එම රටවල් කාර්යයභාරය අවධාරණය කළහ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් කටයුතු පිළිබඳ මහලේකම්, ජීන් පියරේ ලැක්‍රොයික්ස් (Jean-Pierre Lacroix), ඝානාවේ විදේශ කටයුතු සහ කලාපීය ඒකාබද්ධතා අමාත්‍ය ෂර්ලි අයර්කෝර් බොච්වේ (Shirley Ayorkor Botchwey), පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂෙරියාර් අක්බාර් ඛාන් (Shehryar Akbar Khan), මහජන චීන සමූහාණ්ඩුවේ ජෙනරාල් කිලිං ෂු (General Qiling Xu), හංගේරියාවේ විදේශ සහ වෙළඳ කටයුතු අමාත්‍ය පීටර් ෂිජාත්‍රෝ (Peter Szijjarto) සහ රටවල් නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් මෙම සමුළුව ඇමතූහ.

රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ සාමූහිකත්වය පෙන්නුම් කරමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ප්‍රතිඥා ලබා දුන්නේය. එහිදී එතුමන් සාම සාධක මෙහෙයුම් සඳහා ඕනෑම අවස්ථාවක, ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් සූදානම්ව සිටින බවත්, පසුගිය දශක හය තුළ, ශ්‍රී ලංකා සාම සාධක භටයන් 21,000 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර, එම සාම සාධක කටයුතු වලදී ඔවුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව විශේෂයෙන් උපායමාර්ගික සන්නිවේදනය සහ අභියෝගාත්මක සාම සාධක මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව කැපවීමෙන් කටයුතු කරන බවද අවධාරණය කළේය.

නිසි පාරිසරික තත්ත්ව කළමනාකරණයක් ඇති කරමින් තිරසාර සාමය, සමාජ ඒකාබද්ධතාවය, ආරක්‍ෂාව සහ සාමසාධක භටයින්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරන බව එහිදී අනාවරණය කෙරිණ. එසේම කාන්තා සාමසාධක භටපිරිස් විසින් සිදු කරන ලද සුවිශේෂී කාර්යභාරය පිළිබඳව සහ ශ්‍රී ලාංකික කාන්තා සාම සාධක හමුදා සාමාජිකාවන් බිම්බෝම්බ ඉවත් කිරීම, ආරක්‍ෂාව හා සිවිල් - හමුදා සහයෝගීතාව වැනි තීරණාත්මක කටයුතු සඳහා ඕනෑම අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යෙදවීමට ඇති හැකියාව පිළිබඳව රෝහිත බෝගොල්ලාගම මහතා මෙහිදී අදහස් දැක්වීය.

සාම සාධක රාජකාරි සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව සහ අදාළ පාර්ශවයන් සමඟින් සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින අතර, ජාත්‍යන්තර සාමය ඇති කිරීමේ උදාර අරමුණට සහය දැක්වීමේ අරමුණින් ලබා දුන් ප්‍රතිඥාවන් සඳහා ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කැපවී සිටින බව ප්‍රකාශ කළේය. තවද, එතුමන් වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සහ සාම සාධක මෙහෙයුම් සඳහා විශේෂඥ දැනුම සහ සම්පත් යෙදවීම මගින් සාම සාධක කාර්ය සාධනය ඉහළ නැංවීමටද ශ්‍රී ලංකා රජය කැමැත්තෙන් සිටින බවද පැවසීය.

එහිදී රෝහිත බෝගොල්ලාගම මහතා විසින් ගෝලීය සාමය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන දායකත්වය සහ ඒ වෙනුවෙන් පෙනීසිටින බවත් සඳහන් කරන ලදී. එසේම, උග්‍ර ගැටුම් සහිත අභියෝගාත්මක ප්‍රදේශවල ආරක්‍ෂාව, තිරසාර සාමය සඳහා සමාජ ස්ථාවරත්වය සහ ආර්ථික සංවර්ධනය කෙරෙහි දැක්විය හැකි රාජ්‍ය තාන්ත්‍රික දායකත්වය පිළිබඳවද අදහස් දක්වන ලදී. අඛණ්ඩව ක්‍රියාත්මක කරන මෙහෙයුම්වලදී සාම සාධක භටයින්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නංවමින් ඔවුන්ගේ සේවය කාර්යක්ෂමව සහ ඵලදායීම යෙදවීමටත් ගැටුම් සාමකාමීව විසඳා ගැනීම වෙනුවෙන් සාම සාධක දූත මණ්ඩල මුහුණ දෙන ප්‍රබල අභියෝග කෙරෙහිද අවධානය යොමු කරන බව වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබීය.

ගෝලීය සාමය ආරක්‍ෂා කිරීමට සහ සාම සාධක මෙහෙයුම් සඳහා අර්ථවත් ලෙස දායක වීමට මෙරට සාම සාධක භටපිරිස් කැපවී කටයුතු කරන බවත්, රෝහිත බෝගොල්ලාගම මහතා මෙම සමුළුවේදී පැවසීය.

එසේම ගෝලීය මට්ටමින් තිරසාර සාමය හා ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා සාම සාධක කටයුතු වඩාත් ඵලදායී මෙවලමක් බවත්, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමඟින් තිරසාර සාමය, ආරක්‍ෂාව, සාමාජීය සහ ආර්ථික සංවර්ධනය සඳහා වන මැදිහත්වීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති බව ද වැඩි දුරටත් පැවසීය.

එමෙන්ම රෝහිත බෝගොල්ලාගම මහතා සාම සාධක මෙහෙයුම් සඳහා දිවි පිදූ සාම සාධක භටයින්ට උපහාරය පුද කළ අතර, එහිදී එතුමන් ලෝකයේ යුද ගැටුම්වලින් පීඩාවට පත් රටවල සාම සාධක මෙහෙයුම් සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබාගෙන අති ඝානා රාජ්‍යයේ කැපවීම සහ දේශපාලන කටයුතු පිළිබඳවත් මෙම වසරේ ‘2023 United Nations Peacekeeping Ministerial’ සමුළුව අප්‍රිකාවේ ‘Accra’ හි ප්‍රථම වරට පැවැත්වීම සම්බන්ධයෙන් ඝානා ජනරජය වෙත සිය ප්‍රශංසාව පුද කළේය.