Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2023 12:45:46 Hours

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන් අමතයි

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 27) දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී එම බලකායේ කාන්තා සෙබලියන් හමුවී සුහද පිළිසඳරක නිරතවිය.

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් වෙත කාන්තා සෙබලියන් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.කේ.ආර්. ජයකෝඩි ආර්ඩබ්ලිව්පි යූඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් එතුමන් දිවංගත වීරෝදාර කාන්තා සෙබළියන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකළේය.

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ සියලුම යුද්ධ හමුදා සාමාජිකාවන් පිළිබඳ සිහිපත් කළේය. එමෙන්ම, වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම සේවයට බැඳුනු කාන්තා නිලධාරිනියන් විශ්‍රාම ගන්වන වයස අවුරුදු 55 දක්වා දීර්ඝ කිරීම සහ ඒ අනුව යුද්ධ හමුදා නිලධාරින්ට සමානව උසස්වීම් ලබාදීම ඇතුළු තවත් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ පැවසීය. කාන්තා සෙබලියන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීම මෙන්ම විශ්‍රාම ගන්වන වයස් සීමාව වසර 22 ක් දක්වා දීර්ඝ කරන බව ද එතුමන් පැවසීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවයේ නියුතු කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන් ආමන්ත්‍රණය කිරීම සඳහා එතුමන් වෙත මෙම අවස්ථාව ලබාදීම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ වෙත සිය කෘතඥතාව පුදකළේය.

එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැවති තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් යුද්ධ හමුදා සාමාජිකාවන් සමඟ සුහද පිළිසඳරක නිරත වූයේය. රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට මත්තෙන් එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන්, නිලධාරිනියන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.