Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2023 12:55:01 Hours

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් අමතයි

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් පසුගිය සඳුදා (නොවැම්බර් මස 27) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරින් හමුවී සුහද පිළිසඳරක නිරතවිය.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ සියලුම වීරෝදාර රණවිරුවන් සිහිපත් කළ අතර, සේවයේ නියුතු රණවිරුවන්ගේ කාර්යභාරය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් විසින් ඇගයීමට ලක්කරන ලදී.

එහිදී, රජයේ මැදිහත්වීමෙන් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ආමන්ත්‍රණය කිරීම සඳහා එතුමන් වෙත මෙම අවස්ථාව ලබාදීම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ වෙත සිය කෘතඥතාව පුදකළේය.

දේශනය සමාප්තියේ, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැවති තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් යුද්ධ හමුදා සාමාජිකයන් සමඟ සුහද පිළිසඳරක නිරතවූයේය. මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට මත්තෙන් එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.