Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2023 15:43:35 Hours

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දෙවන කණ්ඩායමේ උපාධි ප්‍රධානෝත්සවය සාර්ථකව අවසන්

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දෙවන ශිෂ්‍ය නිලධාරී කණ්ඩායමේ උපාධි ප්‍රධානෝත්සවය පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 21) දින සන්ධ්‍යාවේ අත්තිඩිය, ‘Eagle Lakeside’ උත්සව ශාලාවේදී අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී එම ශිෂ්‍ය නිලධාරීන් වෙත ‘එන්ඩීසී’ උපාධිය ප්‍රදානය කරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම තවත් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

මෙම උත්සවය අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 15 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 08 දෙනෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් කොමදෝරු නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 07 දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 06 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය නිලධාරීන් 36 දෙනෙකු සඳහා ‘ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය’ (NS&SS) පිළිබඳ ‘එන්ඩීසී’ පශ්චාත් උපාධිය පිරිනමනු ලැබීය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පළමුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව එතුමන්ගේ සුරතින් උපාධිදාරීන් වෙත ‘එන්ඩීසී’ උපාධිය ප්‍රදානය කරනු ලැබීය. ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ (විශ්‍රාමික) විසින් උපාධිදාරීන්ගේ ලියාපදිංචි කිරීමේ පොත අනුමත කරන ලද අතර, ඉන් අනතුරුව ‘NDC Year Book’ ග්‍රන්ථය එළිදැක්වීම ද සිදුකෙරිණි.

උත්සව අවස්ථාවේදී, අතිගරු ජනාධිපතිතුමන් විසින් රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් උපාධිදාරීන් වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනැමීය. උත්සවය සමාප්තියේදී, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායකතුමන්ගේ සුරතින් අතිගරු ජනාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

උත්සව පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම අතිගරු ජනාධිපතිතුමන් සමඟින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ සියලුම උපාධිධාරීන් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියහ.

ජාතික ආරක්‍ෂක විද්‍යාලය වෙතින් ජාතික ආරක්‍ෂාව හා උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලා අංක 02/2023 සහ වාර්ෂික අධ්‍යයන ‘එන්ඩීසී’ උපාධි පාඨමාලාව ජනවාරි මස 09 දින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 36 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදී. නිලධාරීන් සතු බුද්ධිමය දැනුම වැඩිදියුණු කිරීම සහ උපායමාර්ගික මට්ටමේ නායකයින් ලෙස ඵලදායී තීරණ ගැනීමේ හැකියාව සඳහා දැනුම ලබාදීම මඟින් නව ආරක්‍ෂක අභියෝගවලට මුහුණ දෙමින් ජාතික ආරක්‍ෂාව සඳහා අන්තර් ආයතනික සහ සිවිල් - හමුදා සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම උපාධි පාඨමාලාව පැවැත්වීය.