Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2023 09:38:52 Hours

විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් බ්‍රහස්පතින්දා (26) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී, වසර 36 කට අධික කාලසීමාවක් පුරාවට මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්කරන ලදී. එමෙන්ම, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේදී කැපවීමෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ අමිල සේවය පිළිබඳ හා එතුමන්ගේ යුද බිමේ අත්දැකීම් පිළිබඳව අදහස් මතකාවර්ජනය කරනු ලැබීය.

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සමඟින් සුහදව අදහස් හුවමාරුකරගනිමින් අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සුබපැතුම් එක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟින්ද සුහදව අදහස් හුවමාරුකරගනිමින් වෘත්තීය දිවිය තුළ විවිධ අභියෝගාත්මක කාර්යභාරයන් ඉටුකරන සමයේදී සිය පවුලේ සාමාජිකයන් එතුමන් වෙත ලබාදුන් සහයෝගය ඇගයීමට ලක්කළේය.

මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සිය කෘතඥතාව පුදකළේය.

සුහද හමුව සමාප්තියේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත විශේෂ සමරු තිළිණයක් සහ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ප්‍රදානය කරන ලදී.

වර්ෂ 1987 මාර්තු මස 16 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුළත් වූ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 27 සාර්ථකව හදාරා දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1988 දෙසැම්බර් මස 10 දින ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් වර්ෂ 2020 ඔක්තෝබර් මස 01 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරය හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ ගජබා රෙජිමේන්තුවේ කණ්ඩභාර නිලධාරි, 3 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරි උපදේශක, 16 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, පාබල පුහුණු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (භඨකාර්ය සම්පාදන), 524 පාබල බලසේනාවේ බලසේනා මේජර්, අනුරාධපුර අතරමැදි කඳවුරේ මාණ්ඩලික නිලධාරී II, 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ඕමන්තේ යුද්ධ හමුදා මාර්ග බාධකයේ අණදෙන නිලධාරි, ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ මාණ්ඩලික නිලධාරි I, 64 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 652 පාබල බලසේනාවේ බලසේනාධිපති, 11 පාබල සේනාංකයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදන), 662 සහ 532 පාබල බලසේනාවන්හි බලසේනාධිපති, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි, 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යයේ නියුතු පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ කාර්යයේ නියුතු මාණ්ඩලික ප්‍රධානි වැනි ප්‍රධාන ධූරයන් රැසක් හෙබවූවේය.

මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුදබිමේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් වෙත ‘රණවික්‍රම පදක්කම’ සහ ‘රණශූර පදක්කම’ පිරිනැමිණි.

මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එතුමන්ගේ සේවා කාලය තුළ කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, නිලධාරී Mid-Career Unit Administration පාඨමාලාව, නිලධාරී අවි පාඨමාලාව - බංගලාදේශය, තරුණ නිලධාරී පාබල පාඨමාලාව - බංගලාදේශය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.