Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2023 17:07:20 Hours

74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව හින්දු ආගමික ආශිර්වාද ලබාගැනේ

ඔත්තෝබර් මස 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු ආගමික ආශීර්වාද ලබාගැනීමේ ‘ආශිර්වාද’ පූජාව කොළඹ 06, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රයේදි දී බ්‍රහස්පතින්දා (05) දින පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරන ලද හින්දු ආශීර්වාද පූජා උත්සවය, හින්දු ආගමික වතාවත් හා චාරිත්‍රානුකූලව කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වූ අතර, එහිදි යුද්ධ හමුදා ධජයන්ට ආශීර්වාද කරන ලදි.

යුද්ධ හමුදා හින්දු සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ආරාධනයෙන් එම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදාවට ආශිර්වාද පතා යුද්ධ හමුදා ධජය කෝවිල් මන්දිරය තුල තැන්පත් කිරීම සඳහා කෝවිලේ පූජකතුමන්ලා වෙත පිළිගැන්වීය.

කෝවිලේ ප්‍රධාන කුරුක්කල් ශිවශ්‍රී රිෂි පූජකතුමන් ඇතුළු පිරිසකගෙන් සමන්විත හින්දු පූජකවරුන් පිරිසක් විසින් හින්දු ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාවට ආශීර්වාද එක් කළහ.

හින්දු ආගමික සම්ප්‍රදායානූකූලව දෙවිවරුන් වෙත පළතුරු, ගිතෙල් සහ මල්මාලා ආදිය පූජා කර ‘ආශීර්වාද’ පූජාව පවත්වන ලද අතර, එහිදී යුද්ධ හමුදාපතිතුමන් විසින් යුද්ධ හමුදා ධජය මත පිච්ච මල් අතුරා දේව ආශිර්වාදය එක්කළේය.

ආගමික පූජා වතාවත්වලින් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාවට ආශීර්වාද පතා හින්දු කෝවිලේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන පූජක පෙරියස්වාමි සුන්දරලිංගම් වෙත මූල්‍යමය අනුග්‍රහකත්වයක්ද දැක්වීය. කෝවිලේ ප්‍රධාන කුරුක්කල් ශිවශ්‍රී රිෂි පූජකතුමන් යුද්ධ හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් මෙම ආගමික වැඩසටහන පවත්වනු ලැබීය.

මෙම ආශිර්වාද පූජාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා හින්දු සංගමයේ සාමාජිකයින් සහ හින්දු භක්තික සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.