Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2023 21:00:04 Hours

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 36 ක සුවිශේෂී වෘත්තීය ජීවිතයකින් අනතුරුව යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් මස 05) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ කැපවීම සහ මානූෂීය මෙහෙයුම් කාලවකවානුව තුළ දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා දක්වනු ලැබු දායකත්වය පිළිබද මතකාවර්ජනයක නිරත විය.

එසේම, යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරන කාලය තුලදී ඉටුකළ කාර්යභාරය කෘතවේදීව ඇගයීමට ලක්කරමින් එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් ද එක්කළේය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව සහ දරුවන් දෙදෙනා සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය.

එම අවස්ථාව එක්වූ විජයබාහු පාබල රෙජිමේන්තුවට අනුයුක්තව දෙවන ලුතිනන්වරයෙකු ලෙස සේවය කරනු ලබන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ වැඩිමහල් පුතනුවන් සමගින් ද යුද්ධ හමුදාධිපතිතුමන් පිළිසඳරක නිරත වූ අතර, එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් ඔහුට යුද්ධ හමුදාවේ කීර්තිමත් හමුදා නායකයෙකු වීමට සුභ පැතුම් එක්කළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහඳ හමුව අවසානයේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අනතුරුව, මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ යුද්ධ හමුදා සේවය ඇගයිමට ලක්කරමින් ප්‍රශංසාත්මක ලාංඡනයක් පළඳවන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වර්ෂ 1987 ජූලි මස 21 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායට එක්විය. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු එතුමන් වර්ෂ 1989 ජූනි මස 23 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2021 ජනවාරි මස 08 දින එතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීරෝදාර පාබල සෙබළෙකු ලෙස යුද පිටියේදී සතුරාට එරෙහිව දක්වනු ලැබු විශිෂ්ට නිර්භීතකම වෙනුවෙන් රණ වික්‍රම පදක්කම සහ රණ සූර පදක්කමින් පිදුම් ලබා ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි කරනු ලැබීය. එතුමන් 1 විජයබාහු පාබල රෙජිමේන්තුවේ කණ්ඩභාර නිලධාරි, 6 විජයබාහු පාබල රෙජිමේන්තුවේ හි බුද්ධි නිලධාරි, 6 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන, 8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන, 53 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 3 (මෙහෙයුම්), 1 විජයබාහු පාබල රෙජිමේන්තුවේ මෙහෙයුම් සහ පුහුණු නිලධාරී, 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ මෙහෙයුම් සහ පුහුණු නිලධාරී, කොමිෂන් නොලත් නිලධාරීන්ගේ පුහුණු පාසලේ නිලධාරි උපදේශක සහ ප්‍රධාන උපදේශක, 8 සහ 4 විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 7 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන), වැළිඔය ප්‍රදේශ මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (මෙහෙයුම්), 56 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, විජයබාහු පාබල රෙජිමේන්තුවේ වැඩබලන ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති, ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරී, 62 සහ 51 සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල්, ආරක්‍ෂ සේනා ආඥාපති - බටහිර, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති ධූරයේ රාජකාරීන් හොඹවනු ලැබීය.

එතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුළ නිලධාරීන්ගේ මධ්‍ය වෘත්තීය ඒකක පරිපාලන පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාබල පුහුණු පාඨමාලාව- පාකිස්තානය, කනිෂ්ඨ අණදෙන පාඨමාලාව – ඉන්දියාව, යුද්ධ හමුදා බලඇණි අණදෙන නිළධාරී පාඨමාලාව – චීනය, එක්සත් ජාතීන්ගේ හදිසි අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - බංග්ලාදේශය වැනි දේශීය හා විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇත.