Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2023 20:57:04 Hours

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන කළමනාකරණය, ඉංජිනේරු, තාක්‍ෂණ විද්‍යා, වාණිජ සහ කලා ඇතුළු විවිධ අධ්‍යයන විෂයයන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථකව නිමකරන ලද උපාධි අපේක්‍ෂකයින් සඳහා උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මන ජ්‍යාතන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ඔක්තෝබර් මස 03 සහ 04 යන දිනයන්හිදී පවත්වනු ලැබීය.

උත්සවයේදී උපාධි අපේක්‍ෂකයින් සඳහා ‘දර්ශනපති’, ‘ශ්‍රාස්ත්‍රපති’ සහ ‘ශ්‍රාස්ත්‍රවේදී’ යන උපාධි පිරිනැමිණි.

උපාධි ප්‍රදානෝත්සවයේ සමාප්ති උත්සවය පසුගිය බදාදා (ඔක්තෝබර් මස 04) දින පැවැත්වුණු අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී විය.

ජනාධිපතිතුමන් විසින් උපාධි ප්‍රදානෝත්සවයේදී විවිධ අධ්‍යයන ක්‍ෂේත්‍රයන්හි දස්කම් දැක්වූ සිසුන් වෙත උපාධි ප්‍රදානය කිරීම සිදුකරන ලදී. අනතුරුව, එතුමන් දේශනයක් සිදුකරමින් සියලුම උපාධිධාරීන් වෙත සිය සුබපැතුම් පිරිනමා ඔවුන්ගේ අධ්‍යයන ක්‍ෂේත්‍රයන් මගින් ලැබූ විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට ලක්කළේය.

උත්සව අවස්ථාවට ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල්, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කුලපති ජෙනරල් එස්.එච්.එස් කෝට්ටේගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පතිතුමන්, විශ්වවිද්‍යාල ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, කෙතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, උපාධිධාරීන්ගේ දෙමාපියන් සහ සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී වූහ.