Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2023 18:41:10 Hours

74 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ විශේෂ ඉස්ලාමීය ආගමික වැඩසටහනක්

74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් එක් ආශීර්වාද පූජාවක් පසුගිය බදාදා (04) දින උදෑසන කොල්ලුපිටිය, ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි. එහිදී, යුද්ධ හමුදා සේවයේ නියුුතු මුස්ලිම් නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් ඉස්ලාමීය ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, බ්‍රිගේඩියර් ටී.එම්.එෆ් කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් ටී.එම්.පී ජලාල් සහ කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

ත්‍රිවිධ භාෂා මගින් සිදුකළ පිළිගැනීමේ දේශනයේදී යුද්ධ හමුදා සංවත්සර සැමරුම් වෙනුවෙන් ඉස්ලාමීය ආගමික යාඥාවේ වැදගත්කම ප්‍රධාන පූජක (මවුලවි) විසින් පැහැදිලි කර දුන් අතර, ආගමික සම්ප්‍රදායානුකුලව සැරසු පල්ලිය තුල යාඥා මෙහෙයන් ආරම්භ කරන ලදී.

රටේ අභීවෘද්ධිය උදෙසා යුද්ධ හමුදාව විසින් සිදු කරන ලද අපරිමිත මෙහෙය අගයමින් ඉස්ලාමීය ආගමික චාරිත්‍රානුකූල ‘බයාන්’ (Bayan) ආගමික දේශනය පවත්වමින් යුද්ධ හමුදා ධජයන්ට සහ යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කරන ලද අතර, අනතුරුව මවුලවිතුමන් විසින් ‘කිරාත්’ (Qirath) සහ ‘දුආ’ (Dua) යන විශේෂ ආශිර්වාද යාඥාවන් පවත්වමින් යුද්ධ හමුදාවට ආශිර්වාද එක් කරන ලදී.

ආගමික උත්සවය අවසානයේදී ඉස්ලාමීය පූජනීය සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා මුල්‍ය පරිත්‍යාගයක් ද සිදුකල යුද්ධ හමුදාධිපතිතුමන්, රට තුළ පවතින සහජීවනය, සමගිය සහ සංහිඳියාව පිළිබඳව මෙන්ම යුද්ධ හමුදාවේ ඉදිරි දැක්ම පිලිබඳව ද මවුලවිතුමන්ලා සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

උත්සව අවස්ථාවට සිවිල් ඉස්ලාම් භක්තික බැතිමතුන් සමඟින් යුද්ධ හමුදාවේ සේවයේ නියුතු ඉස්ලාම් භක්තික සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ. ආගමික උත්සවය අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපතිතුමන් අතර සුහදත්වයේ සංකේතයක් ලෙස සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.

මෙම අවස්ථාවෙහිදී, භාරකාර මණ්ඩලයේ සභාපති අල්-හාජ් මුස්ලිම් සලාහුදීන් මහතා විසින් එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භාරකාර මණ්ඩලය වෙනුවෙන් ඇගයීමක් ලෙස සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. එසේම, භාරකාර මණ්ඩලයේ ලේකම් විසින්, සුහදතාවයේ සංකේතයක් ලෙස, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ශුද්ධ වූ කුරානයේ පිටපතක් ප්‍රදානය කරන ලදී.

ආගමික උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.